YouVersion Logo
Search Icon

2 1 වංශාවලිය 36

36
යෙහෝවාහාස් ආදි රජවරු. යෙරුසලම විනාශවීම
1එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගෙන, ඔහුගේ පියා වෙනුවට ඔහු යෙරුසලමෙහි රජකමට පත්කළෝය. 2යෝවාහාස් විසිතුන් අවුරුදු වයසේදී රජවී, යෙරුසලමෙහි තුන් මාසයක් රජකම්කෙළේය. 3මිසරයේ රජතෙමේ යෙරුසලමේදී ඔහු අහක්කර, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගසා, 4ඔහුගේ සහෝදරවූ එලියාකීම් යූදා සහ යෙරුසලම කෙරෙහි රජකමට පත්කොට, ඔහුගේ නාමය යෙහෝයාකීම්ය කියා වෙනස්කෙළේය. තවද නෙකෝ ඔහුගේ සහෝදරවූ යෝවාහාස් රැගෙන මිසරයට ගියේය.
5යෙහෝයාකීම් විසිපස් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 6බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධව ඇවිත්, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේය. 7ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සමහර භාණ්ඩත් නෙබුකද්නෙශර් බබිලෝනියට ගෙනගොස් බබිලෝනියේ තමාගේ මාලිගාවෙහි තැබුවේය. 8යෙහෝයාකීම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ පිළිකුල් දේවල්ද ඔහුට විරුද්ධව දැනගත් කාරණාද ඉශ්‍රායෙල් සහ යූදා රජවරුන්ගේ පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත්‍රවූ යෙහෝයාකීන් ඔහු වෙනුවට රජවිය.
9යෙහෝයාකීන් දහඅට අවුරුදු වයසේදී රජකම්කරන්ට පටන්ගෙන, තුන්මස් දස දවසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 10ඊළඟ අවුරුද්දේදී නෙබුකද්නෙශර් රජ ඔහු සහ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදරවූ ශෙදෙකියා යූදා සහ යෙරුසලම කෙරෙහි රජකොට පත්කෙළේය.
11සෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. 12ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය; ස්වාමීන්වහන්සේගේ වචන කී අනාගතවක්තෘවූ යෙරෙමියා ඉදිරියෙහි ඔහු යටහත්වුණෙත් නැත. 13තවද ඔහු දෙවියන්වහන්සේගේ නමින් ඔහු දිවුරෙවු නෙබුකද්නෙශර් රජුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නොහැරෙන ලෙස තමාගේ කුළල තදකරගන තමාගේ සිත දැඩිකරගත්තේය. 14පූජකයන්ගේ සියලු ප්‍රධානීහුද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල්වල හැටියට බොහෝසේ අපරාධකරමින්, ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි විශුද්ධකළ උන්වහන්සේගේ ගෘහය අපවිත්‍රකළෝය. 15ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක. 16එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය. 17ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජු පැමිණෙවුසේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථාන ගෘහයෙහිදී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරුවෝය. ඔහු යෞවනයාටවත් කන්‍යාවටවත් මහල්ලාටවත් පැසුණු හිසකේ ඇත්තාටවත් අනුකම්පා නොකෙළේය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවාදුන්සේක. 18ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ ලොකු කුඩා සියලු භාණ්ඩද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජුගෙත් ඔහුගේ අධිපතීන්ගෙත් වස්තුද යන සියල්ලම බබිලෝනියට ගෙනගියේය. 19ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය දවා දමා, යෙරුසලමේ පවුර කඩාදමා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණ අනර්ඝවූ සියලු බඩු විනාශ කළෝය. 20කඩුවෙන් ගැළවුණු අය ඔහු බබිලෝනියට ගෙනගියේය; ඔව්හු පාර්සිවරුන්ගේ රජකම්කිරීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දාසයෝව සිටියෝය. 21මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.
කෝරෙෂ් රජුගේ ප්‍රකාශ පත්‍රය
22නුමුත් ස්වාමීන්වහන්සේ යෙරමියාගේ මුඛයෙන් කියෙවු වචනය සම්පූර්ණවෙන පිණිස පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක. ඔහු වනාහි: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; 23තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ. උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු එතැනටයේවයි පාර්සියාවේ කෝරෙෂ් කියන්නේය කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධියක් කොට, ලියවිල්ලෙනුත් එය පතළ කෙරෙවුවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy