YouVersion Logo
Search Icon

2 1 වංශාවලිය 25

25
අමශියා රජ
1අමශියා විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙහෝයද්දාන්ය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය. 2ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් සම්පූර්ණ සිතකින් නොවේය. 3තවද රජකම ඔහු කෙරෙහි ස්ථිර වුණ කල, ඔහු තමාගේ පිය රජ්ජුරුවන් මැරුවාවූ තමාගේ සේවකයන් මරාදැම්මේය. 4නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා, එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියා ස්වාමීන්වහන්සේ අණකළ ලෙස, මෝසෙස්ගේ පොතේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේය. 5තවද අමශියා යූදාවරුන් රැස්කර, මුළු යූදාහිද බෙන්යමින්හිද ඔවුන්ගේ පියවංශවල හැටියට ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද යටතේ පත්කොට, විසිඅවුරුද්ද පටන් ඉන් ඉහළට වයස්වූවන් ගණන්කර, හෙල්ලද පලිස්ද දරා යුද්ධයට යන්ට දක්ෂවූ තෝරාගත් මනුෂ්‍යයන් තුන් ලක්ෂයක් සිටින බව දැනගත්තේය. 6තවද ඔහු ඉශ්‍රායෙල්වරුන්ගෙන් යුද්ධ දක්ෂයන් ලක්ෂයක් රිදී තලෙන්ත සියයකට කුලියට ගත්තේය. 7නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඔහු ළඟට ඇවිත්: රජ්ජුරුවෙනි, සියලු එප්‍රායිම් පුත්‍රයන් වන ඉශ්‍රායෙල්වරුන් සමඟ ස්වාමීන්වහන්සේ නොසිටින නිසා ඉශ්‍රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා. 8නුමුත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත්වී සටනට බලවත් වෙන්න; දෙවියන්වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළාදමනසේක; මක්නිසාද උපකාරකරන්ටත් හෙළාදමන්ටත් දෙවියන්වහන්සේට බලය ඇත්තේයයි කීවේය. 9අමශියාද: එසේ නම් මා ඉශ්‍රායෙල් සේනාවට දුන් තලෙන්ත සියය ගැන අපි මක්කරමුදැයි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගෙන් ඇසුවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: ඊට වඩා ඔබට දෙන්ට ස්වාමීන්වහන්සේට පුළුවනැයි කීවේය. 10එකල අමශියා එප්‍රායිම්හි සිට තමා වෙතට ආ හමුදාව ස්වකීය ස්ථානයට යන පිණිස වෙන්කෙළේය. ඒ නිසා ඔවුන්ගේ කෝපය යූදා කෙරෙහි බොහෝසෙයින් ඇවිළ, ඔව්හු තද කෝපයෙන් තමුන්ගේ ස්ථානයට හැරී ගියෝය. 11ඉක්බිති අමශියා ධෛර්ය උපදවා, තමාගේ සෙනඟ කැඳවාගෙන ලුණු මිටියාවතට පැමිණ සෙයිර් පුත්‍රයන්ගෙන් දසදහසක් මැරීය. 12යූදා පුත්‍රයෝ තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝය, ඔවුන් සියල්ලෝද සුනුවිසුනු වූහ. 13අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යූදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය.
14අමශියා ඒදොම්වරුන් මරා ආවායින් පසු ඔහු සෙයිර් පුත්‍රයන්ගේ දෙවිවරුන් ගෙනැවිත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පුකෙළේය. 15එවිට ස්වාමීන්වහන්සේගේ උදහස අමශියා කෙරෙහි ඇවුළුණේය, උන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඔහු වෙතට යැවූසේක. ඔහු කථාකොට: තමුන්ගේ සෙනඟ නුඹේ අතින් ගළවා නොගත් සෙනඟගේ දෙවියන් වෙතට මක්නිසා හැරුණෙහිදැයි ඔහුගෙන් ඇසුවේය. 16මෙසේ ඔහු රජු සමඟ කථාකරද්දී අමශියා ඔහුට කථාකොට: නුඹ රජුගේ මන්ත්‍රියෙකු කොට පත්කෙළෙමුද? නිකම් සිටින්න; නුඹ මරනු ලබන්නේ කුමටදැයි කීවේය. එවිට ප්‍රොපේත තෙම නැවතී: නුඹ මාගේ දැනමිතිකම නොඅසා මේක කළ බැවින් දෙවියන්වහන්සේ නුඹ විනාශකරන්ට නියමකරගත් බව මට පෙනේයයි කීවේය.
17එකල යූදාහි රජවූ අමශියා මන්ත්‍රණයකොට: එන්න, අපි මුණගැසෙමුව කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාස්ගේ පුත්‍රයා වන ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ට කියා හැරියේය. 18ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් උත්තරදෙමින්: නුඹේ දුව මාගේ පුත්‍රයාට භාර්යා කොට පාවාදෙන්නැයි ලෙබනොන්හි තිබෙන ගොකටු ගස ලෙබනොන්හි තිබෙන කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වනමෘගයෙක් එහි යන විට ගොකටු ගස පාගාදැමීය. 19මෙන්න, ඒදොම්වරුන්ට පහරදුන්නෙමියි නුඹ කියයි; නුඹේ සිතද පාරට්ටු කරන පිණිස අහංකාරවී තිබේ. ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙන ලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා හැරියේය. 20නුමුත් අමශියා ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙතට හැරුණු බැවින් ඔවුන් පාවාදෙන පිණිස ඒක දෙවියන්වහන්සේ කෙරෙන් පැමුණුණේය. 21මෙසේ ඉශ්‍රායෙල්හි රජවූ යෝවාෂ් පිටතට ගියේය; ඔහුද යූදාහි රජවූ අමශියාද යූදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී මුණගැසුණෝය. 22යූදාවරුන් ඉශ්‍රායෙල්වරුන්ට පරාජයවී එක් එක්කෙනා තම තමාගේ කූඩාරමට පලාගියේය. 23ඉශ්‍රායෙල්හි රජවූ යෝවාෂ් තෙමේ යෙහෝවාහාශ්ගේ පුත්‍රවූ යෝවාෂ්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ අමශියා බෙත්-ෂෙමෙෂ්හිදී අල්ලාගෙන යෙරුසලමට ගෙනවුත්, එප්‍රායිම් දොරටුව සිට කොනේ දොරටුව දක්වා යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක් බිඳහෙළා, 24දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඕබෙද්-ඒදොම් ළඟ තිබුණු රන් රිදී සියල්ලද සියලු භාජනද රජ ගෙයි වස්තුද ඇපකාරයන්ද රැගෙන සමාරියට හැරීගියේය. 25යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ මරණයෙන් පසු යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්ව සිටියේය. 26අමශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා යූදාහි රජුන්ගේද ඉශ්‍රායෙල් රජුන්ගේද පොතෙහි ලියා තිබෙනවා නොවේද? 27අමශියා ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගිය පසු මනුෂ්‍යයෝ යෙරුසලමෙහි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහිදී ඔහු මරා, 28අශ්වයන් පිට තබා ගෙනවුත්, දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත්කළෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in