YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 9:3-20

1 සාමුවෙල් 9:3-20 SROV

සාවුල්ගේ පියවූ කීෂ්ගේ කොටළුවෝ නැතිවුණෝය. කීෂ් තමාගේ පුත්‍රවූ සාවුල්ට කථාකොට: නුඹ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු අඬගහගෙන පිටත්ව ගොස් කොටළුවන් සොයාන්නැයි කීවේය. ඔහු එප්‍රායිම් කඳු රටෙහිද ෂාලිෂා රටෙහිද ඇවිද්ද නුමුත් උන් සම්බවුණේ නැත. ඔව්හු ෂාලීම් රටෙහිත් ඇවිද්දෝය, උන් එහිත් නැති බැවින් ඔහු බෙන්යමින් රටෙහිද ඇවිද්දේය. නුමුත් ඔවුන්ට උන් සම්බවුණේ නැත. ඔවුන් ශූප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි තමාගේ වැඩකාරයාට කථාකොට: අපි හැරී යමු; නැත්නම් මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වෙනවා ඇතැයි කීවේය. ඔහුද: මේ නුවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් සිටී, ඒ මනුෂ්‍යයා ගෞරවණීය කෙනෙක්ය; ඔහු කියන සියල්ල සැබවින් සිදුවෙයි. අපි එහි යමු; සමහරවිට අප යන ගමන ගැන ඔහු අපට දන්වනවා ඇතැයි ඔහුට කීවේය. එවිට සාවුල් තමාගේ වැඩකාරයාට කථාකොට: යනවානම් අපි ඒ මනුෂ්‍යයාට කුමක් ගෙනයමුද? මක්නිසාද අපේ භාජනවල තිබුණ කෑම කම්මුතුවිය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙනයන්ට කිසි තෑග්ගක් නැත්තේය. අප ළඟ කුමක් තිබේදැයි කීවේය. වැඩකාරයා නැවත සාවුල්ට උත්තරදෙමින්: මා අතේ රිදී ෂෙකෙලකින් සතරෙන් පංගුවක් තිබේ. අපේ මාර්ගය අපට දන්වන පිණිස ඒක දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමියි කීවේය. (පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.) එවිට සාවුල්: නුඹ කීවා හොඳයි; එන්න, අපි යමුයයි තමාගේ වැඩකාරයාට කීවේය. මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝය. ඔව්හු නුවර නැගුමේ යන කල, යෞවනියන් වතුර අදින පිණිස පිටතට එනවා ඔවුන්ට සම්බව: දිවස් ඇත්තා මෙහි ඉන්නවාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. ඔව්හු උත්තරදෙමින්: ඉන්නවාය; ඔහු නුඹ ඉදිරියෙහිය. ඉක්මන්කරන්න, මක්නිසාද උස් තැනදී අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට ඇවිත් සිටියි. නුඹලා නුවරට ඇතුල්වූ වහාම කෑම කන පිණිස උස් තැනට නගින්ට මත්තෙන් ඔහු සම්බවෙයි. මක්නිසාද ඔහු පූජාවට ආශීර්වාදකරන බැවින් ඔහු එනතුරු සෙනඟ කන්නේ නැත; කැඳවනලද්දෝ ඉන් පසුව කති. ඉන්නිසා යන්න; මක්නිසාද මේ වේලාවට ඔහු නුඹලාට සම්බවේයයි කීවෝය. ඔවුන් නුවරට ගොස් නුවර ඇතුළට පැමිණදේදී සාමුවෙල් උස් තැනට යන පිණිස ඔවුන් ඉස්සරහට පිටතට ආවේය. සාවුල් එන්ට දවසකට ප්‍රථම ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු නුඹ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය. සාමුවෙල් සාවුල් දුටු විට ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: මෙන්න, මා නුඹට කී මනුෂ්‍යයා! මොහු මාගේ සෙනඟ කෙරෙහි බලය පවත්වන්නේයයි කීසේක. එවිට සාවුල් දොරටුවේදී සාමුවෙල් ළඟට ඇවිත්: දිවස් ඇත්තාගේ ගෙය තිබෙන්නේ කොතනද කියා මට දැන්නුවමැනවැයි කීවේය. සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින්: දිවස් ඇත්තා මමය; මට පෙරටුව උස් තැනට යන්න, මක්නිසාද නුඹලා අද මා සමඟ කෑම කන්ට ඕනෑය. හෙට උදේ නුඹ යන්ට හරින්නෙමි, නුඹේ සිතේ තිබෙන සියල්ලද නුඹට දන්වන්නෙමි. තුන් දවසකට පළමුවෙන් නැතිවූ නුඹේ කොටළුවන්ගේ කාරණය සිතට නොගන්න; උන් සම්බවුණාය. ඉශ්‍රායෙල්හි ආශාවිය යුතු සියල්ල කා උදෙසාද? නුඹ උදෙසාත් නුඹේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේදැයි කීවේය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 9:3-20