YouVersion Logo
Search Icon

1 රාජාවලිය 11

11
සාලමොන් රජ පාපයට වැටීම. රජුගේ මරණය
1සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය. 2සැබවින්ම ඔවුන් නුඹලාගේ සිත් තමුන්ගේ දෙවිවරුන් වෙතට හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතුය, ඔවුන්ට නුඹලා අතරට එන්ට ඉඩ නොදිය යුතුය කියා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට යම් යම් ජාතීන් ගැන කීසේක්ද ඒ ජාතීන්ට සාලමොන් ස්නේහයෙන් ඇලුම්වූයේය. 3ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය. 4එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය. 5මක්නිසාද සාලමොන් ශීදොන්වරුන්ගේ දේවතාවීවූ අෂ්ටාරොත්ද අම්මොන්වරුන්ගේ පිළිකුලවූ මිල්කොම්ද අනුව ගොස්, 6ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කෙළේය, ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් ස්වාමීන්වහන්සේ අනුව සම්පූර්ණ ලෙස ගියේ නැත. 7එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය. 8තමුන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම්ද පූජාද ඔප්පුකළාවූ තමාගේ සියලු අන්‍ය ජාතික භාර්යාවන්ටත් ඔහු එසේම සාදා දුන්නේය.
9මෙසේ සාලමොන් තමාට දෙවරක් පෙනී, අන් දෙවිවරුන් පසුව නොයන ලෙස තමාට අණකළාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් තමාගේ සිත අහක්කරගත් බැවින්, 10ස්වාමීන්වහන්සේ ඔහුට උදහස්වූසේක. ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ දේ ඔහු පැවැත්තුවේ නැත. 11එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: නුඹ මාගේ ගිවිසුමද මා නුඹට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි. 12එහෙත් නුඹේ පියවූ දාවිත් නිසා මම නුඹේ දවස්වලදී ඒක නොකොට නුඹේ පුත්‍රයාගේ අතින් ඒක පැහැරගන්නෙමි. 13නුමුත් මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමියි කීසේක.
14තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොම් රජ වංශයේ කෙනෙකි. 15එනම් දාවිත් ඒදොම්හි සිටිද්දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමුවායින් පසු සේනාපතිවූ යෝවාබ් මැරුම්කෑ තැනැත්තන් තැන්පත් කරන පිණිස ගිය කල මෙසේ විය. 16(මක්නිසාද යෝවාබ්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඒදොම්හි සියලු පිරිමින් සිඳදමනතුරු එහි හමාසයක් නැවතුණෝය.) 17නුමුත් හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලාගියෝය; මෙකල හදද් කුඩා ළමයෙක්ව සිටියේය. 18ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ. 19ඵාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිය බැවින් තමාගේ භාර්යාවගේ සහෝදරී වන තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහුට භාර්යාකොට පාවාදුන්නේය. 20තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහු නිසා ගෙනුබත් නම්වූ පුත්‍රයා වැදුවාය, තාපෙනෙස් ඵාරාවෝගේ ගෘහයේදී ඔහු කිරෙන් වැරෙව්වාය. ගෙනුබත් ඵාරාවෝගේ ගෘහයෙහි ඵාරාවෝගේ පුත්‍රයන් අතරේ සිටියේය. 21දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපුණු බවත් යෝවාබ් සේනාපතියා මළ බවත් හදද් මිසරයේදී අසා: මාගේ රටට යන්ට මා හැරිය මැනවයි ඵාරාවෝට කීවේය. 22එවිට ඵාරාවෝ ඔහුට කථාකොට: නුඹේ රටට යන්ට හදන්නේ මා ළඟ නුඹට මොන හිඟයක් වීදැයි ඇසුවේය. හිඟයක් නැත, එහෙත් කොහොම නුමුත් මට යන්ට අවකාශ දුනමැනවැයි ඔහු උත්තරදුන්නේය.
23දෙවියන්වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු නැගිටෙවුසේක, එනම් තමාගේ ස්වාමිවූ ශෝබායේ රජවූ හදද් එසෙර් වෙතින් පලාගියාවූ එලියාදාගේ පුත්‍රවූ රෙසොන්ය. 24ඔහු දාවිත් ශෝබායේ මනුෂ්‍යයන් මරාදමන කල තමා ළඟට මිනිසුන් රැස්කරගන හමුදාවක අධිපතියා වුණේය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසයකරමින් දමස්කයෙහි රජකම්කළෝය. 25හදද් කළ අනතුර ඇර ඔහුද සාලමොන්ගේ සියලු දවස්වල ඉශ්‍රායෙල්වරුන්ට සතුරෙක්ව සිට, ඉශ්‍රායෙල්වරුන් පිළිකුල්කොට, සිරිය රට කෙරෙහි රජකම්කෙළේය.
26තවද ශෙරේදායේ එප්‍රායිමියයෙක්වූ නෙබාත්ගේ පුත්‍රවූ, සාලමොන්ගේ සේවකයෙක්වූ යෙරොබොවම්ද රජුට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. වැන්දඹු ස්ත්‍රියෙක්ව සිටිය ඔහුගේ මවුගේ නම ශෙරුවාය. 27ඔහු රජුට විරුද්ධව අත එසෙවුවේ මේ කාරණය නිසාය. සාලමොන් මිල්ලෝ ගොඩනගමින්ද තමාගේ පියවූ දාවිත්ගේ නුවර කැඩුම් හරිගස්සමින්ද සිටියේය. 28යෙරොබොවම් වනාහි බලසම්පන්න මනුෂ්‍යයෙක් විය. සාලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙක් බව දැක යෝසෙප්ගේ වංශයට නියමවූ බර වැඩ සියල්ල කෙරෙහි ඔහු පත්කෙළේය. 29ඒ කාලයේදී යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට යන කල අලුත් සලුවක් පෙරවාගන සිටි ෂිලොනීය අහියානම් අනාගතවක්තෘට ඔහු මගදී සම්බවිය; ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝය. 30අහියා තමා ඇඳගන සිටිය අලුත් සළුව අල්වා කෑලි දොළොසකට ඉරා, 31යෙරොබොවම්ට කථාකොට: නුඹ කෑලි දහයක් ගනින්න. මක්නිසාද ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම සාලමොන්ගේ රාජ්‍යය පැහැරගන නුඹට ගෝත්‍ර දසයක් දෙන්නෙමි. 32(එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් ඉශ්‍රායෙල්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගත් නුවර වන යෙරුසලම නිසාත් ඔහුට වන්නේය.) 33මා මෙසේ කරන්නේ ඔවුන් ඔහුගේ පියවූ දාවිත් මෙන් මාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේද මාගේ පනත්ද විනිශ්චයයන්ද ඉෂ්ටකරමින් මාගේ මාර්ගවල නොහැසිර මා අත්හැර, ශීදොන්වරුන්ගේ දේවතාවිවූ අෂ්ටාරොත්ටද මෝවබ්වරුන්ගේ දෙවිවූ කෙමොෂ්ටද අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවූ මිල්කොම්ටද නමස්කාරකළ නිසාය. 34එහෙත් මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගත්තාවූ, මාගේ ආඥාද පනත්ද පැවැත්තුවාවූ, මාගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල අධිපතියාව සිටින්ට ඔහුට ඉඩහැර, 35ඔහුගේ පුත්‍රයා අතින් රාජ්‍යය ගෙන, ගෝත්‍ර දහයක් නුඹට දෙන්නෙමි. 36මාගේ නාමය තබන්ට මා විසින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ මාගේ මෙහෙකරුවූ දාවිත්ට මා ඉදිරියෙහි නිතරම පහනක් තිබෙන පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි. 37නුඹේ සිත ආසාවෙන සියල්ල කෙරෙහි නුඹ රජකම්කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වෙන පිණිස නුඹ පිළිගන්නෙමි. 38මාගේ මෙහෙකරුවූ දාවිත් කළාක්මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද පවත්වමින්, මා විසින් නුඹට අණකරන සියල්ලට ඇහුම්කන්දී, මාගේ මාර්ගවල හැසිර, මාගේ ඇස් හමුවෙහි හරිවූ දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථිරවූ ගෘහයක් ගොඩනගාදුන්නාක් මෙන් නුඹටත් ගොඩනගාදී, ඉශ්‍රායෙල්වරුන් නුඹට භාරදෙන්නෙමි. 39දාවිත්ගේ වංශයට මේ කාරණය නිසා පීඩාකරන්නෙමි, එහෙත් සෑම කාලයටම නොවේය කියා කියනසේකැයි කීවේය. 40ඒ නිසා සාලමොන් යෙරොබොවම් මරන්ට සෙවීය. එහෙත් යෙරොබොවම් පිටත්වී මිසරයේ රජවූ ෂීෂක් වෙත මිසරයට පලාගොස්, සාලමොන්ගේ මරණය දක්වා එහි සිටියේය.
41සාලමොන්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහුගේ ප්‍රඥාවද සාලමොන්ගේ පවත් සඳහන්වූ පොතේ ලියා තිබෙනවා නොවේද? 42සාලමොන් යෙරුසලමේ මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දක්ය. 43සාලමොන් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ රෙහොබොවම් ඔහු වෙනුවට රජවුණේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy