YouVersion Logo
Search Icon

1 රාජාවලිය 10

10
ෂෙබායේ බිසවගේ පැමිණීම
1ෂෙබායේ බිසව ස්වාමීන්වහන්සේගේ නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා ගූඪ ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ආවාය. 2ඕතොමෝ ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියකුත් අනර්ඝ ගලුත් පටවනලද ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය. 3සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කීය. රජ විසින් ඈට තෝරාදෙන්ට නොහැකිවූ යම් ප්‍රශ්නයක් නොවීය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත. 4ෂෙබාහි බිසව සාලමොන්ගේ මුළු ප්‍රඥාවද ඔහු ගොඩනැගූ ගෘහයද, 5ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී, 6රජුට කථාකොට: මාගේ දේශයේදී ඔබගේ ක්‍රියාද ඔබගේ ප්‍රඥාවද ගැන මා විසින් ඇසූ පවත් සැබෑය. 7එහෙත් මම ඇවිත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාසනොකෙළෙමි. සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ. 8ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, නිතරම ඔබ ඉදිරියෙහි සිට ඔබගේ ප්‍රඥාව අසන මේ ඔබගේ සේවකයෝ වාසනාවන්තයෝය. 9ඉශ්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය. 10තවද ඈ රන් තලෙන්ත එකසිය විස්සක්ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය තරම් සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේය. 11ඕපීර් සිට රන් ගෙනාවාවූ හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී බොහොමයක්ද අනර්ඝ ගල්ද ඕපීරෙන් ගෙනෙන ලද්දේය. 12රජ ඒ හඳුන් ලීවලින් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් රජුගේ ගෙටත් කණු සහ ගායනාකාරයන්ට වීණාද කුඩා වීණාද සෑදෙවුවේය. ඒ ආකාර හඳුන් ලී අද දවස දක්වා තවත් ගෙනාවේවත් දකින්ට ලැබුණේවත් නැත. 13සාලමොන් රජ තමාගේ රාජකීය ත්‍යාගවත්කමෙන් ෂෙබාහි බිසවට දුන් දේවල් හැර ඇගේ කැමැත්තේ හැටියට ඈ ඉල්ලු සියල්ලත් ඈට දුන්නේය. ඉක්බිති ඈත් ඇගේ පිරිවරත් සිය රටට හැරී ගියෝය.
රජුගේ ආදායම් හා උතුම්කම
14සාලමොන්ට බඩු හුවමාරු කරගන්නන්ගෙන්ද වෙළඳුන්ගේ වෙළඳාමෙන්ද මිශ්‍ර ජාතීන්ගේ සියලු රජවරුන්ගෙන්ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන්ද ලැබුණු රන් හැර, 15අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය. 16සාලමොන් රජතෙමේ තළාපු රනින් පලිස් දෙසියයක් සෑදුවේය. එක එක පලිහට රන් ෂෙකෙල් හසියයක් ගියේය. 17ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තළාපු රනින් සෑදුවේය; එක එක කුඩා පලිහට රන් රාත්තල් තුනක් ගියේය. රජ ලෙබනොන් වනය නම් ගෘහයෙහි ඒවා තැබුවේය. 18තවද රජ ඇත් දත්වලින් මහත් සිංහාසනයක් සාදා ඉතා පවිත්‍ර රනින් ඒක වැසුවේය. 19සිංහාසනයට පඩි හයක් තිබුණේය, සිංහාසනයේ මුදුන පස්සෙන් වටකුරුව තිබුණේය. වාඩිවෙන ආසනය දෙපැත්තේ අත්ඇඳි සහ අත්ඇඳි ළඟ සිටගත් සිංහ රූප දෙකක්ද වූහ. 20පඩි හය පිට දෙපැත්තේ සිටගත් සිංහ රූප දොළොසක්ද වූහ. එයාකාර එකක් කොයි රාජ්‍යයකවත් සාදා නොතිබුණේය. 21සාලමොන් රජුගේ පාන පාත්‍රා සියල්ලම රනින් විය. ලෙබනොන් වනය නම් ගෘහයේ සියලු භාජනත් පවිත්‍ර රනින් විය. එකක්වත් රිදීයෙන් නොවීය; රිදී වනාහි සාලමොන්ගේ දවස්වලදී අනර්ඝකොට සැලකුවේ නැත. 22මක්නිසාද මුහුදේ, හීරාම්ගේ නැව් සමඟ තර්ෂීෂ් නැව් රජුට තිබුණේය. ඒ තර්ෂීෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය. 23මෙසේ සාලමොන් රජ වස්තුවෙනුත් ප්‍රඥාවෙනුත් පොළොවේ සියලු රජුන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය. 24දෙවියන්වහන්සේ සාලමොන්ගේ සිතේ තබා තිබුණු ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙතට ආවෝය. 25ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමුන්ගේ තෑගි වන රිදී භාජනද රන් භාජනද වස්ත්‍රද යුද්ධායුධද සුවඳ ද්‍රව්‍යද අශ්වයන්ද අශ්වතරයන්ද ගෙනාවෝය. 26සාලමොන් වනාහි රථ සහ අසරුවන්ද එක්කාසු කරගත්තේය. ඔහුට රථ එක්දහස් හාර සියයක් තිබුණේය, අසරුවන් දොළොස් දහසක්ද සිටියෝය, රජ ඒවා රථ නුවරවලද තමා ළඟ යෙරුසලමේද තැබුවේය. 27තවද රජ යෙරුසලමෙහි, රිදී ගල් මෙන්ද කිහිරි ගස් පහත ප්‍රදේශවල තිබෙන අත්තික්කා ගස් මෙන්ද ප්‍රමාණයෙන් බොහෝ වෙන්ට සැලැස්විය. 28සාලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝය; රජුගේ වෙළෙන්දෝ උන් රංචුවක් රංචුවක් වශයෙන් මිල ගණනකට ලබාගත්තෝය. 29රථයක් රිදී ෂෙකෙල් හසියයකටත් අශ්වයෙක් එකසිය පනහකටත් මිසරයෙන් ගෙනැවිත් විකුණන්ට යෙදුණේය. ඔවුන් එනකොට හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ඔව්හු එලෙසම ගෙනත් දුන්නෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in