YouVersion Logo
Search Icon

1 වංශාවලිය 11

11
දාවිත් රජු මෙන් අභිෂේකකිරීම
1එකල සියලු ඉශ්‍රායෙල්වරු හෙබ්‍රොන්හි සිට දාවිත් වෙතට රැස්වී කථාකොට: අපි ඔබගේ ඇටද මාංසයද වමුව. 2පසුගිය කාලවල, සාවුල් රජව සිටියදී පවා, ඉශ්‍රායෙල් පිටතට ගෙන ගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබය. ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනයකරන්නෙහිය, නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි ඔබට කීසේකැයි කීවෝය. 3මෙලෙස ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙතට පැමිණියාහ; දාවිත්ද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය; ඔව්හු ස්වාමීන්වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට ආලේපකළෝය.
යෙරුසලම රාජධානිය කරගැනීම
4පසුව දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද යෙබූස නම්වූ යෙරුසලමට ගියෝය; දේශවාසීවූ යෙබූසිවරු එහි සිටියෝය. 5යෙබූස වැසියෝ: නුඹ මෙහි ඇතුල් නොවන්නෙහියයි දාවිත්ට කීවෝය. නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්වාගත්තේය; එය දාවිත්ගේ නුවරය. 6දාවිත් කථාකොට: පළමුකොට යෙබූසිවරුන්ට පහරදෙන කවරෙක් නුමුත් ප්‍රධානියාද අධිපතියාද වන්නේයයි කීවේය. ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් පළමුකොට නැගී ගොස් ප්‍රධානියා වුණේය. 7දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය; ඒ නිසා ඊට දාවිත්ගේ නුවරයයි නම් කළෝය. 8ඔහු මිල්ලෝ පටන් වටකරින්ම නුවර ගොඩනැගුවේය. යෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේය. 9දාවිත් වඩ වඩා උසස් වූයේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ ඔහු හා සමඟ සිටිසේක.
දාවිත් රජුගේ යුද්ධ දක්ෂ භටයෝ
10ඉශ්‍රායෙල් ගැන ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට දාවිත් රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඔහුගේ රජකම ගැන ඔහුට උපකාරකළ ප්‍රධාන බලවන්තයෝ මොව්හුය. 11දාවිත්ට සිටි බලවන්තයන්ගේ ගණන මේය: හක්මොනියෙකුගේ පුත්‍රවූ, තිස්දෙනාගෙන් ප්‍රධානියාවූ යාෂොබෙයාම්ය; ඔහු එක් වතාවකදී තුන්සිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරීය. 12ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර් සිටියේය, ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය. 13පැස්-දම්මිම්හි, යව පුරාම තිබුණු, පිලිස්තිවරුන් යුද්ධයට සැරසී සිටි බිම් කොටසක ඔහු දාවිත් සමඟ සිටියේය; සෙනඟ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය. 14ඔව්හු ඒ බිම මැද සිට එය ආරක්ෂාකරගන පිලිස්තිවරුන් මැරුවෝය; ස්වාමීන්වහන්සේ මහත් ජයක් ලබාදී ඔවුන් ගැළවූසේක. 15ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ සිටි දාවිත් වෙතට පර්වතයට ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝය. 16දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය, පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්-ලෙහෙමෙහි සිටියෝය. 17දාවිත්තද ආශාවෙන් කියනුයේ: අනේ බෙත්-ලෙහෙමේ දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කවුරුවත් මට බොන්ට වතුර ගෙනත් දුන්නොත්! කියා කීවේය. 18එවිට ඒ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙමේ දොරටුව සමීපයෙහිවූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් දාවිත් ඒවා බොන්ට නොකැමැතිව, ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට කියනුයේ: 19මේ දේ කිරීමෙන් මාගේ දෙවියන්වහන්සේ මා වලක්වනසේක්වා. තමුන්ගේ ජීවිතයට වියහැකි අන්තරාය නොසලකා ගියාවූ මේ මනුෂ්‍යයන්ගේ ලේ මා විසින් බොන්ටද? මක්නිසාද ඔව්හු තමුන්ගේ ජීවිත අන්තරායෙහි තබා මේවා ගෙනාවෝයයි කීය. එහෙයින් ඔහු ඒවා බොන්ට නොකැමැතිවිය. ඒ බලවන්තයන් තුන්දෙනා මේ දේ කළෝය. 20යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගෙන් ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා, තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය. 21දෙවෙනි තුන්දෙනාගෙන් ඔහු අනික් දෙදෙනාට වඩා ගරුකටයුතු වූයෙන්, ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනා තරමට නොපැමිණියේය. 22බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය. 23ඔහු පස් රියනක් උස ඇති ලොකු මනුෂ්‍යයෙක්වූ මිසරයෙකුත් මැරීය; මිසරයාගේ අතේ වියන දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේය; ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේම හෙල්ලයෙන් ඔහු මරාදැමුවේය. 24යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා මේ දේවල් කොට බලවන්තයන් තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය. 25ඔහු ඒ තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක් වීය, ඒ නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනාගේ ගණනට පැමුණුණේ නැත. දාවිත් තමාගේ මුර හමුදාව කෙරෙහි ඔහු පත්කෙළේය.
26සේනාවල බලවන්තයෝ නම්: යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, බෙත්-ලෙහෙමේ දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය; 27හරෝරිය ෂම්මොත්ය, පෙලෝනිය හෙලෙශ්ය; 28තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය, අනතෝතිය අබියෙසෙර්ය; 29හුෂාතිය සිබ්බෙකයිය, අහොහීය ඉලයිය; 30නෙටොපාතිය මහරයිය, නෙටොපාතිය බානාගේ පුත්‍රවූ හේලෙද්ය; 31බෙන්යමින් පුත්‍රයන්ගේ ගිබියාහි රීබයිගේ පුත්‍රවූ ඊතයිය, පිරාතොනිය බෙනායාය; 32ගයෂ් ඔයවල හුරයිය, අර්බාතිය අබියෙල්ය; 33බහරූමිය අස්මාවෙත්ය, ෂයල්බොනිය එලියාබාය; 34ගිසොනිය හාෂෙම්ගේ පුත්‍රයෝය, හරාරිය ෂාගේගේ පුත්‍රවූ යොනාතාන්ය; 35හරාරිය සාකාර්ගේ පුත්‍රවූ අහියාම්ය, ඌර්ගේ පුත්‍රවූ එලිපාල්ය; 36මෙකේරාතිය හේපෙර්ය, පෙලෝනිය අහියාය; 37කර්මෙලිය හෙශ්රොය, එශ්බයිගේ පුත්‍රවූ නයරයිය; 38නාතාන්ගේ සහෝදරවූ යෝවෙල්ය, හග්රීගේ පුත්‍රවූ මිබ්හාර්ය; 39අම්මොනිය ශෙලෙක්ය, ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බේරොතිය නහරයිය; 40ඉත්රිය ඊරාය, ඉත්රිය ගාරෙබ්ය; 41හිත්තිය උරියාය, ආලයිගේ පුත්‍රවූ සාබාද්ය; 42රූබෙන්වරුන්ගේ ප්‍රධානියාව සිටි රූබෙනිය ෂීශාගේ පුත්‍රවූ අදීනාය, ඔහු සමඟ තිස්දෙනෙක් සිටියෝය; 43මයකාගේ පුත්‍රවූ හානාන්ය, මිත්නිය යොෂාපාට්ය; 44අෂ්තෙරාතිය උස්සියාය, අරොයෙරිය හෝතාම්ගේ පුත්‍රවූ ෂාමා සහ යෙයීයෙල්ය; 45ෂිම්රිගේ පුත්‍රවූ යෙදීයයෙල් සහ ඔහුගේ සහෝදරවූ තිශිය යෝහාය. 46මහවිය එලීයෙල්ය, එල්නයම්ගේ පුත්‍රයෝවූ යෙරිබයි සහ යෝෂාවියාය, මෝවබිය ඉත්මාය; 47එලීයෙල්ය, ඕබෙද්ය, මෙසොබායවූ යයසීයෙල්ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy