එබැවින් අනනියස් පිටත්ව, ඒ නිවසට පිවිස, සාවුල් මත අත් තබා, “සහෝදර සාවුල්, ඔබ මෙහි එද්දී, මාවතේදී ඔබට පෙනුණු යේසුස් ස්වාමින්වහන්සේ මා මෙහි එවුවේ ඔබට නැවත පෙනීම ලැබෙන පිණිසත්, ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ පූර්ණ වන පිණිසත්” යයි කීවේ ය. එසැණේම සාවුල්ගේ දෙනෙතින් කොරපොතු වැනි යමක් වැටිණි; යළිත් ඔහුට පෙනීම ලැබිණි. ඔහු නැගිට්ටේ ය; බව්තීස්ම කරනු ලැබුවේ ය.