Logo ng YouVersion
Hanapin ang Icon

මාර්ක් 8

8
හාර දහසකට ආහාර සපයා දීම
1එදවස්හි යළි මහ ජන සමූහයක් රැස් වූ කල, ඔවුනට කෑමට කිසිවක් නො තිබුණෙන්, තම ගෝලයින් තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතමින්, 2“මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් ඔවුන් සිටියේ මා සමඟයි; ඔවුන්ට කෑමට කිසිවක් නැහැ. 3කුස ගින්නේ මා ඔවුන්ගේ ගෙවලට පිටත් කර හැරියොත් අතර මගදී ඔවුන් ක්ලාන්ත වේවි. ඔවුන්ගෙන් ඇතැම් දෙනකු පැමිණ ඇත්තේ දුර බැහැර ඉඳන්” යැයි කී සේක.
4උන්වහන්සේගේ ගෝලයෝ පිළිතුරු දෙමින්, “මෙතරම් සමූහයකට කන්නට මේ පාළු පෙදෙසින් කොහොම රොටි සොයන්න දැ?” යි කීහ.
5“ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක.
“හතකි” යි ඔවුහු කීහ.
6ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ උන්වහන්සේ, රොටි හත ගෙන, ස්තුති දී, ඒවා කඩා, ගෝලයින්ට දුන්නේ, සෙනඟ ඉදිරියේ ඒවා තබන පිණිස ය. ගෝලයෝ ඒවා සමූහයා ඉදිරියේ තැබූහ. 7ඔවුන් වෙත කුඩා මසුන් ස්වල්ප දෙනෙක් ද වූ හෙයින් යේසුස්වහන්සේ ඒවා ද ගෙන, ඊට ආශිර්වාද කර, ඔවුන් ඉදිරියේ තබන්නැයි කී සේක. 8ජන සමූහයා අනුභව කොට, සෑහීමට පැමිණි පසු ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ. 9එහි හාරදහසක් පමණ පිරිසක් වූහ. උන්වහන්සේ ඔවුන් පිටත් කර හැරිය සේක. 10එකෙණෙහි ම උන්වහන්සේ තම ගෝලයින් සමඟ ඔරුවේ නැගී දල්මනූතා පෙදෙසට ගිය සේක.
11පරිසිවරු පැමිණ, උන්වහන්සේ පරීක්ෂා කරන පිණිස ස්වර්ගයෙන් ලකුණක් ඉල්ලා උන්වහන්සේ සමඟ වාද කරන්නට වූහ. 12උන්වහන්සේ තම ආත්මයෙන් දැඩි සේ සුසුම් ලා, “මේ පරම්පරාව ලකුණක් ඉල්ලා සිටින්නේ මන්ද? සැබවින් ම, මම ඔබට කියමි. මේ පරම්පරාවට ලකුණක් දෙනු නො ලැබේ” යි පැවසූ සේක. 13උන්වහන්සේ ඔවුන් අත්හැර, නැවත ඔරුවට නැගී එතෙරට ගිය සේක.
පරිසිවරුන්ගේ හා හෙරෝද්ගේ මුහුන්
14රොටි ගෙන යන්නට ගෝලයින්ට අමතක වී තිබිණ. ඔවුන් වෙත ඔරුවේ වූයේ එක රොටියක් පමණි. 15උන්වහන්සේ ඔවුන්ට අවවාද කරමින්, “බලාගෙනයි! පරිසිවරුන්ගේ මුහුන්වලින් හා හෙරෝද්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක.
16ඔවුහු තම තමන් අතරේ කතා කරමින්, “මේ නම් අප ළඟ රොටි නැති නිසයි” කීහ.
17යේසුස්වහන්සේ ඔවුන්ගේ කතා බහ දැන, “රොටි නැති වග ඔබ අතරේ කතා වන්නේ ඇයි? තවමත් ඔබ දන්නේ නැති ද? වැටහෙන්නේ නැති ද? ඔබගේ හදවත් දැඩි වෙලා ද? 18ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැති ද? කන් තිබියදීත් ඔබට ඇහෙන්නේ නැති ද? ඔබට මතක නැද්ද? 19මා රොටි පහක් කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩ කීයක් පුරවා ගත්තා දැ?” යි ඇසූ සේක.
“දොළහකැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
20“රොටි සතක් හාර දහසකට දී ඉතිරි කැබලිවලින් ඔබ ලොකු කූඩ කීයක් පුරවා ගත්තා දැ?” යි ඇසූ සේක.
ඔවුහු, “හතකැ” යි කීහ.
21“තවමත් ඔබට වැටහෙන්නේ නැද්දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
බෙත්සයිදාහි අන්ධයාට පෙනීම
22ඉන්පසු ඔවුහු බෙත්සයිදා වෙත පැමිණියහ. අන්ධයකු කැඳවාගෙන ආ ඇතැම් දෙනෙක්, ඔහු පිට අත තබන මෙන් උන්වහන්සේගෙන් අයැද සිටියහ. 23උන්වහන්සේ අන්ධ මිනිසා අතින් අල්ලා, ගමින් පිටතට ගෙන ගොස්, ඔහුගේ ඇස්වල කෙළ තවරා, ඔහු පිට අත තබා, “ඔබට කිසිවක් පෙනේ දැ?” යි ඇසූ සේක.
24ඔහු ඇස් ඔසවා බලමින්, “මට මිනිසුන් පෙනේ; ඔවුන් ඇවිදින ගස් වගේ පෙනේ යැ” යි පිළිතුරු දුන්නේ ය.
25උන්වහන්සේ යළිත් ඔහුගේ ඇස් මත අත තැබූ සේක. එවිට ඔහුගේ ඇස් ඇරී, ඕනෑකමින් බැලූ ඔහු පෙනීම ආපසු ලැබ, සියල්ල පැහැදිලි ලෙස දැක්කේ ය. 26උන්වහන්සේ ඔහු ගෙදර යවමින්, “ගමට ඇතුළු වන්නවත් එපා” යි කී සේක.
පේතෘස්ගේ ප්‍රකාශය
27යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ පිලිප්පි කායිසාරියේ ගම්වලට ගිය සේක. මඟදී උන්වහන්සේ ඔවුන් අමතා, “ජනයා කියන්නේ මා කවුරු ය කියා දැ?” යි ඇසූ සේක.
28ඔවුහු පිළිතුරු දෙමින්, “සමහරුන් කියන්නේ යොහන් බව්තීස්ත ය කියා ය; අන් සමහරු කියන්නේ එලියා ය කියා ය; සෙසු අය දිවැසිවරුන්ගෙන් කෙනෙකි කියා යැ” යි පැවසූහ.
29“හොඳයි, ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ” යි කීවේ ය.
30කිසිවකුටත් තමන් ගැන නො කියන ලෙස, උන්වහන්සේ ඔවුන්ට තරයේ ම නියෝග කළ සේක.
යේසුස්වහන්සේ තම මරණය ගැන කලින් පැවසීම
31ඉන්පසු උන්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් ද දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත්, මරනු ලබන්නටත්, තුන් දවසකට පසු, නැවත නැගිටින්නටත් යුතු ව ඇති වග ඔවුන්ට උගන්වන්නට වන් සේක. 32උන්වහන්සේ පැහැදිලි ව එසේ කී කළ, පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට විය.
33එහෙත් හැරී, තම ගෝලයින් දෙස බැලූ උන්වහන්සේ පේතෘස්ට තරවටු කරමින්, “සාතන් මා පස්සට යව! නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි කී සේක.
කුරුසියේ මාර්ගය
34පසුව සමූහයා ද තම ගෝලයින් ද තමා වෙත කැඳවූ උන්වහන්සේ, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමා ම ප්‍රතික්ෂේප කර, තම කුරුසිය ගෙන, මා අනුව එත්වා. 35මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; එහෙත් මා නිසාත්, ශුභාරංචිය නිසාත් සිය ජීවිතය නැති කර ගන්නා, එය රැක ගනී. 36යමෙක් මුළු ලොව ම දිනාගත් නමුදු තම ජීවිතය නැති කර ගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද? 37තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද? 38මේ පරදාරික, පාපිෂ්ඨ පරම්පරාවේ යමෙක් මා ගැනත්, මගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් ද තම පියාණන්ගේ තේජසින් ද, තම ශුද්ධ දේව දූතයින් ද සමඟ එන කල, ඒ තැනැත්තා ගැන ලජ්ජා වනු ඇතැ” යි පැවසූ සේක.

Kasalukuyang Napili:

මාර්ක් 8: SCV

Haylayt

Ibahagi

Paghambingin

Kopyahin

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in

Video para sa මාර්ක් 8