Logo ng YouVersion
Hanapin ang Icon

උත්පත්ති 6

6
මිහි පිට මිනිසාගේ දුෂ්ටකම
1මිනිසුන් මිහි පිට වැඩි වන්නට පටන් ගෙන, ඔවුනට දූවරුන් උපන් කල, 2මිනිස් දූවරුන් සුරූපී වග දුටු දේව-පුත්‍රයෝ තමන් රිසි වූ අය තම භාර්යාවන් කොට ගත්හ. 3ස්වාමින්වහන්සේ එවිට, “මගේ ආත්මය සදහට ම මිනිසා සමඟ විවාද කරන්නේ නැත#6:3 හෙවත් මිනිසා තුළ පවතින්නේ නැත.. මන්ද ඔහු මාංසමය වන බැවිනි. ඔහුගේ ආයු කාලය වසර එකසිය විස්සක් වනු ඇතැ” යි කී සේක.
4එකල්හිත්, ඉන්පසුවත් යෝධයෝ#6:4 යෝධයෝ හෙවත් නෙෆීලිම් මිහි පිට විසූහ. දේව-පුත්‍රයින් මිනිස් දූවරුන් වෙත එළැඹි කල්හි ඔවුනට පුතුන් ලැබිණ. ඉපැරණි වීරයන් වූ කීර්තිමත් මිනිස්සු ඔවුහු ය.
5මිහි පිට මනුෂ්‍යයාගේ දුෂ්ටකම් කොතෙක් මහත් වී ද යන්නත්, ඔහුගේ හදෙහි අදහස්වල සෑම නැඹුරුවීමක් ම, හැම විට නපුරට ම බවත් ස්වාමින්වහන්සේ දුටු සේක. 6තමා මිහි පිට මනුෂ්‍යයා සෑදීම ගැන ස්වාමින්වහන්සේ තැවුණු සේක. උන්වහන්සේගේ හද වේදනාවෙන් පෙළුණි. 7එබැවින් ස්වාමින්වහන්සේ, “මිනිස් සංහතිය, මා විසින් මවන ලද මිනිස් සංහතිය හා සතුන් ද උරගයින් හා අහස් පක්ෂීන් ද මිහි පිටින් තුරන් කර දමන්නෙමි. මා ඔවුන් සෑදීම ගැන මම තැවෙන්නෙමි” යි කී සේක. 8එහෙත් නෝවා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ ප්‍රසාදය ලද්දේ ය.
නෝවා හා ජලගැල්ම
9නෝවාගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය.
ධර්මිෂ්ඨ මිනිසකු වූ නෝවා, ඔහුගේ කාලයේ මිනිසුන් අතර නිදොස් මිනිසා විය. ඔහු දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය. 10නෝවාට ෂේම්, හාම් හා යාෆෙත් නම් වූ පුතුන් තිදෙනෙක් වූහ.
11මේ වන විට පොළොව දෙවියන්වහන්සේ හමුවෙහි දූෂිත ව, සැහැසිකමින් පිරී තිබිණි. 12දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූ සේක. එවිට මෙන්න! එය දූෂිත ව තිබිණි. මන්ද පොළොවේ සියලු ජනයා සිටියේ තම මාර්ග දූෂ්‍ය කර ගෙන ය. 13එබැවින් දෙවියන්වහන්සේ නෝවා අමතමින්, “මම සියලු ජනයා අවසන් කර දමන්නට යන්නෙමි. ඔවුන් නිසා පොළොව සැහැසිකමින් පිරී ගොසිනි. එබැවින් මෙන්න! මම දැන් ඔවුන් ද පොළොව ද විනාශ කරන්නට යන්නෙමි. 14එනිසා ගෝපේර් ලීයෙන් ඔබට නැවක් සාදා ගන්න. එහි කාමර තනා, ඇතුළත හා පිටත කීල් බදාම තවරාලන්න. 15ඔබ එය තැනිය යුත්තේ මෙසේයි: නැව දිගින් රියන් තුන්සියයක් ද පළලින් රියන් පනහක් ද උසින් රියන් තිහක් ද විය යුතුයි. 16නැවේ ඉහළ, රියනක විවරයක් තබා, ඊට ඉහළින් වහලක් සාදන්න. නැව පැත්තකින් දොරක් තබා, යට, මැද සහ උඩ යන තට්ටු තුනකින් යුතු ව නැව සෑදිය යුතු ය. 17මෙන්න, මම පොළොව පිටට ජලගැල්මක් ගෙනෙන්නෙමි. එසේ කරන්නේ, අහස යට වෙසෙන ජීවන හුස්ම ඇති සියලු සත්වයින් විනාශ කරන පිණිසයි. මිහි පිට සියල්ල ඉන් නැසී යනු ඇත. 18එහෙත් ඔබ සමඟ මම මගේ ගිවිසුම පිහිටු වන්නෙමි. ඔබ නැවට ඇතුළු වනු ඇත; ඔබත්, ඔබ සමඟ ඔබේ පුතුන් ද ඔබේ භාර්යාව ද ඔබේ පුතුන්ගේ භාර්යාවන් ද එහි ඇතුල් වනු ඇත. 19ඔබ සමඟ ජීවත් ව තබා ගනු පිණිස, හැම වර්ගයක ම සජීව සතුන්, පිරිමි සතකු හා ගැහැනු සතකු වශයෙන් යුගල බැගින් ඔබ නැව තුළට ගත යුතුයි. 20දිවි පැවතෙනු පිණිස, හැම වර්ගයක ම පක්ෂීන් ද හැම වර්ගයක ම සතුන් ද බිම බඩ ගා යන හැම වර්ගයක ම උරගයින් ද යුගලක් බැගින් ඔබ වෙත පැමිණෙනු ඇත. 21අහරට ගන්නා හැම වර්ගයේ ම ආහාර ද්‍රව්‍ය ගෙන, ඔබ ඒවා ගබඩා කළ යුතුයි. ඒවා, ඔබටත්, උන්ටත් ආහාර පිණිස වේ යැ” යි පැවසූ සේක.
22නෝවා එසේ කළේ ය. ඔහු ඒ හැම දෙයක් ම කළේ, දෙවියන්වහන්සේ ඔහුට අණ කළ පරිද්දෙනි.

Haylayt

Ibahagi

Paghambingin

Kopyahin

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in