උත්පත්ති 16
16
හාගර් හා ඉෂ්මායෙල්
1එහෙත් ආබ්‍රම්ගේ බිරිඳ වූ සාරයි, ඔහුට දාව දරුවන් බිහි කර තිබුණේ නැත. ඇයට හාගර් නම් වූ ඊජිප්තියානු දාසියක් සිටියා ය. 2එබැවින් ආබ්‍රම් ඇමතූ ඈ, “මේ අහන්න, දරුවන් ලැබීමෙන් ස්වාමින්වහන්සේ මා වළක්වා ඇත. මගේ දාසිය සමඟ එක්වන්න. ඇතැම් විට ඇය මගින් මට දරු-පවුලක් ගොඩ නැගිය හැකි වෙතැ” යි කීවා ය.
ආබ්‍රම්, සාරයි කී දේට සවන් දුන්නේ ය. 3මෙසේ ආබ්‍රම්, කානාන් දේශයේ දස වසරක් විසූ පසු, ඔහුගේ බිරිඳ වූ සාරයි, හාගර් නම් වූ තම ඊජිප්තියානු දාසිය ගෙනවුත්, තම සැමියා වන ආබ්‍රම්ට බිරිඳක කොට දුන්නා ය. 4ඔහු හාගර් හා සයනය කළෙන්, ඈ ගැබ් ගත්තා ය.
තමා ගැබ් ගෙන ඇති වග දැනගත් කල, හාගර් තම ස්වාමි දූ සුළු කොට තකන්නට වන්නී ය. 5එවිට සාරයි, ආබ්‍රම් අමතමින්, “මට විඳින්නට සිදු වී ඇති අයුක්තට වගකිව යුත්තා ඔබයි. මගේ දාසිය මා ඔබේ තුරුලට දුන්නා. එහෙත් දැන්! තමා ගැබ් දරා ඇති වග දන්නා ඈ මා සුළු කොට සලකන්නී ය. මේ සම්බන්ධ ව ස්වාමින්වහන්සේ ඔබත්, මාත් අතරේ විනිශ්චය කරන සේක්වා!” යි කීවා ය.
6ආබ්‍රම් පිළිතුරු දෙමින්, “ඔබේ දාසිය ඔබේ අත යටතේයි. ඔබට හරියයි සිතන පරිදි ඇය ගැන කටයුතු කරන්නැ” යි කීවේ ය. එවිට සාරයි, හාගර්ට හිරිහැර කළා ය. එබැවින් හාගර් ඇය වෙතින් පලා ගියා ය.
7 ස්වාමින්වහන්සේගේ දූතයාට කාන්තාරයේ දිය උල්පත් අසලදී, ෂූර් දක්වා දිවෙන මාවත පසෙක වූ දිය උල්පත අසලදී හාගර් හමු වී, 8කතා කරමින්, “හාගර්, සාරයිගේ දාසිය, ඔබ කොහි සිට එනවා ද? කොහි යනවා දැ?” යි ඇසී ය.
“මම මගේ ස්වාමි දූ සාරයි වෙතින් පලා යනවා” යි ඈ පිළිතුරු දුන්නා ය.
9 ස්වාමින්වහන්සේගේ දූතයා ඇය අමතමින්, “ඔබේ ස්වාමි දූ වෙත ආපසු යන්න; ගොසින්, ඇයට යටහත් ව සිටින්නැ” යි කීවේ ය. 10තවදුරටත් කතා කළ ස්වාමින්වහන්සේගේ දූතයා, “මම ඔබේ දරු පරපුර ගණන් කළ නො හැකි තරමට වැඩි කරන්නෙමි” යි පැවසී ය.
11 ස්වාමින්වහන්සේගේ දූතයා ඇයට මෙසේ ද පැවසී ය:
“මෙන්න! දැන් දරු ගැබක් ඔබ දරයි.
ඔබ, පුතකු බිහි කරනු ඇත.
ඉෂ්මායෙල්#16:11 ඉෂ්මායෙල් එනම් දෙවියන්වහන්සේ අසන සේක. නමින් ඔබ ඔහු ඇමතිය යුතු ය.
මන්ද ස්වාමින්වහන්සේ ඔබේ දුක්-සන්තාපය ඇසූ බැවිනි.
12ඔහු කැලෑ බූරුවකු වැනි මිනිසකු වනු ඇත.
ඔහුගේ අත හැම කෙනකුට එරෙහි වෙයි.
හැම කෙනකුගේ අත, ඔහුට එරෙහි වෙයි.
ඔහු තම සියලු නෑසියන්ගෙන්,
වෙන් ව වෙසෙනු ඇත.”
13එවිට හාගර්, තමා ඇමතූ ස්වාමින්වහන්සේට, “මා දෙස බලන දෙවියන්වහන්සේ ඔබ ය” යන අරුතින් ඒල්-රොයී#16:13 ඒල්-රොයී එනම් මා දෙස බලන දෙවියන්වහන්සේ යන නමින් ඇමතුවා ය. මන්ද ඈ, “සැබවින් ම මම දෙවියන්වහන්සේ දුටුවෙමි; එසේ දැකලාත් ජීවත් ව සිටින්නෙමි” යි කීවා ය. 14“මා දෙස බලන ජීවමාන තැනැන්වහන්සේගේ ළිඳ” යන අරුතින් එම ළිඳට, බෙයර් ලහායි-රොයී#16:14 බෙයර් ලහායි-රොයී එනම් මා දෙස බලන ජීවමාන තැනැන්වහන්සේගේ ළිඳ යන නම තබන ලද්දේ එබැවිනි. එය තිබෙනුයේ කාදෙෂ් හා බෙරෙද් අතර ය.
15හාගර්, ආබ්‍රම්ට පුතකු බිහි කළා ය. ඇය බිහි කළ තම පුතුට ආබ්‍රම් නම් තැබුවේ, ඉෂ්මායෙල් කියා ය. 16හාගර් ඔහුට දාව ඉෂ්මායෙල් බිහි කරන කල්හි, ආබ්‍රම් අසූහය වන වියෙහි විය.
Kasalukuyang Napili:
උත්පත්ති 16: SCV
Haylayt
Ibahagi
Paghambingin
Kopyahin
Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.