උත්පත්ති 18
18
ආගන්තුකයින් තිදෙනා
1 ස්වාමින්වහන්සේ මම්රේගේ ආලෝන් වෘක්ෂ අසලදී, ආබ්‍රහම්ට පෙනුණු සේක. දවසේ ග්‍රීෂ්ම වේලාව වූ එවේලේ ඔහු තම කූඩාරම් දොරකඩ වාඩි වී සිටියේ ය. 2ඔහු නෙත් දල්වා බැලූ කල, මිනිසුන් තුන් දෙනකු තමාට නුදුරින් සිටගෙන සිටිනු දුටුවේ ය. ඔවුන් දුටු කල, තම කූඩාරම් දොරටුවේ සිට ඔවුන් වෙත විගස ගිය ආබ්‍රහම්, මුහුණ බිමට නමා, ආචාර කළේ ය.
3ඔහු කතා කරමින්, “මා ස්වාමිනි, ඔබ මා කෙරේ ප්‍රසන්න නම්, මදක් නැවතී මිස ඔබේ සේවක මා පසු කර නො යන්න. 4මා වතුර ටිකක් ගෙනෙන්නම්. එවිට ඔබ හැමට පා සෝදාගෙන, මේ ගස් සෙවණේ මදක් විවේක ගත හැකියි. 5දැන් ඔබ ඔබේ සේවකයා වෙත පැමිණ සිටින නිසා, මම ඔබට කෑමට යමක් සපයන්නම්. එවිට ඉන් ප්‍රබෝධවත් වී, ඔබට ඔබේ ගමන යා හැකි යැ” යි කීවේ ය.
“හොඳයි. ඔබ කී දේ කරන්නැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
6එවිට, වහා සාරා වෙත තම කූඩාරම තුළට ගිය ආබ්‍රහම්, “ඉක්මන් කරන්න. සිහින් පිටි නැළි තුනක් ගෙන, අනා, රොටි පුලුස්සන්නැ” යි කීවේ ය.
7ඉන්පසු ගව ගාලට දිවූ ආබ්‍රහම්, හොඳ ළපටි වස්සකු තෝරා, සේවකයකුට දී, ඌ පිළියෙල කිරීම ඉක්මන් කළේ ය. 8ඉන්පසු ඔහු මුදවපු කිරි හා එළකිරි ද පිසින ලද වස්සා ද ගෙනවුත්, ඔවුන් ඉදිරියේ තැබී ය. ඔවුන් ආහාර ගන්නා අතරේ, ඔහු ගස යට ඔවුන් අසල සිටගෙන සිටියේ ය.
9“කෝ ඔබේ බිරිඳ සාරා කොහේ දැ?” යි ඔවුහු ඔහුගෙන් ඇසූහ.
“ඇය කූඩාරමේ යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
10එවිට, ආගන්තුකයාණෝ, “ලබන වසරේ මේ කාලයට මම නියතයෙන් ම යළි එන්නෙමි. එකල ඔබේ බිරිඳ සාරා, පුතකු ලබනු ඇතැ” යි පැවසූහ.
එතුමාණන්ට පිටුපසින් වූ කූඩාරම් දොරකඩ හුන් සාරා එය අසාගෙන සිටියා ය. 11ආබ්‍රහම් මෙන් ම සාරා ද මේ වන විට සිටියේ වයස්ගත ව, හොඳට ම මහලු ව ය. ස්ත්‍රීන් පිළිබඳ නියමය සාරාට නැවතී තිබිණි. 12එබැවින් සාරා තමන් සිත තුළ, “මා මවක වන කාලය පසු කර, මගේ ස්වාමියා ද මහල්ලකු ව සිටියදී, දැන් මම දරුවකු ලැබීමේ ප්‍රීතිය ලබම් දැ?” යි කියා ගනිමින් සිනාසුණා ය.
13එවිට ස්වාමින්වහන්සේ ආබ්‍රහම් ඇමතූ සේක්, “සාරා සිනාසී, ‘දැන් මම මහලු ව සිටියදී, ඇත්තෙන් ම ගැබ්බර වන්නෙම් දැ?’ යි කීවේ මන්ද? 14ස්වාමින්වහන්සේට නො හැකි දෙයක් වේ ද? ලබන වසරේ යථා කාලයේදී මම ඔබ වෙත යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇතැ” යි පැවසූ සේක.
15බියපත් වූ සාරා, “එය ප්‍රතික්ෂේප කරමින්, මා හිනැහුණේ නැතැ” යි කීවා ය.
“නැහැ! ඔබ සිනාසුණා” යි උන්වහන්සේ පැවසූ සේක.
සොදොම ගැන ආබ්‍රහම්ගේ ආයාචනය
16ඒ මිනිස්සු පිටත් ව යන්නට නැගිට, සොදොම දෙස නෙත් හෙළා, ගමන් ගත්හ. ඔවුන් මගට ඇරලවනු පිණිස ආබ්‍රහම් ද ඔවුන් හා ගමන් ගත්තේ ය. 17එවිට ස්වාමින්වහන්සේ කතා කොට, “මා දැන් කරන්නට යන දේ මම ආබ්‍රහම්ගෙන් සඟවම් ද? 18ආබ්‍රහම් සැබවින් ම ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රබල වූත් ජාතියක් බවට පත් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන් ඔහු තුළින් ආශිර්වාද ලබනු ඇත. 19මන්ද ස්වාමින්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දෑ ඔහුට ඉටු කර දෙන පිණිස ධර්මිෂ්ඨකමත්, යුක්තියත් පැවැත්වීම මගින් ස්වාමින්වහන්සේගේ මාර්ගය රක්ෂා කිරීමට, ඔහු තමාගෙන් පසු තම දරුවන් ද තම ගෘහ වාසීන් ද යොමු කරවන පිණිස, මම ඔහු තෝරා ගතිමි” යි පැවසූහ.
20ඉන්පසු ස්වාමින්වහන්සේ කතා කරමින්, “සොදොමට හා ගොමොරාවට එරෙහිව නැගෙන කෑ මොර ගැසීම අති මහත් ය. ඔවුන්ගේ පාපය ද බෙහෙවින් බරපතළ ය. 21දැන් මම පහළට බැස ගොස්, මා වෙත නැගුණු කෑ මොර ගැසීමේ තරමට ම ඔවුන් කර ඇද්දැයි බලන්නෙමි. එසේ නො වේ නම්, ඒ වග දැන ගන්නෙමි” යි කී සේක.
22ඒ මිනිස්සු එතැනින් හැරී, සොදොම දෙසට ගියහ. එහෙත් ආබ්‍රහම් ස්වාමින්වහන්සේ ඉදිරියේ නැවතී සිටියේ ය. 23එවිට ආබ්‍රහම් උන්වහන්සේට ළං වී, “ඔබවහන්සේ දුෂ්ටයින් සමඟ ධර්මිෂ්ඨයින් විනාශ කර දමනවා ද? 24ඇතැම් විට ඒ නගරයේ ධර්මිෂ්ඨයින් පනස් දෙනෙක් සිටිය හැකියි. ඒ ධර්මිෂ්ඨයින් පනස් දෙනා නිසාවත් ඒ නගරය ඉතිරි නො කොට ඔබවහන්සේ සැබවින් ම එය වනසා දමනවා ද? 25එවැන්නක් ඔබගෙන් සිදු නො වේවා! දුෂ්ටයින් සමඟ ධර්මිෂ්ඨයින් වනසා දැමීමක්, ධර්මිෂ්ඨයින්ට හා දුෂ්ටයින්ට එක ලෙස සැලකීමක් ඔබගෙන් සිදු නො වේවා! මුළු පොළෝ තලයේ ම විනිශ්චයකරුවාණෝ යුක්ති සහගත ව ක්‍රියා කරන සේක් නො වේ දැ?” යි පැවසී ය.
26 ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “සොදොම් පුරය තුළ ධර්මිෂ්ඨයින් පනස් දෙනෙක් මට හමු වුවහොත්, ඔවුන් වෙනුවෙන් මම ඒ මුළු ප්‍රදේශය ම ඉතිරි කරන්නෙමි” යි කී සේක.
27එවිට ආබ්‍රහම් යළි කතා කරමින්, “ඇත්තෙන් ම අළු හා දූලි පමණක් වන මම, ස්වාමින්ට කතා කරන්නට තරම් එඩිතර වුණෙමි. 28ඇතැම් විට ධර්මිෂ්ඨයින් පනස් දෙනාගෙන් පස් දෙනකු අඩු වන්නට පුළුවන. එවිට අඩු වූ ඒ පස්දෙනා නිසා ඔබවහන්සේ ඒ මුළු පුරය ම විනාශ කරනවා දැ?” යි ඇසී ය.
“හතළිස්පස් දෙනකු එහිදී මට හමු වූවොත්, මා එය විනාශ කරන්නේ නැතැ” යි උන්වහන්සේ පැවසූ සේක.
29ඔහු යළි උන්වහන්සේ අමතමින්, “ඇතැම් විට හතළිස් දෙනකු එහිදී හමු වන්නට පුළුවනැ” යි කීවේ ය.
“ඒ හතළිස් දෙනා නිසා, එය විනාශ කරන්නේ නැතැ” යි උන්වහන්සේ පැවසූ සේක.
30එවිට ආබ්‍රහම්, “අහෝ, ස්වාමින් කෝප නො වී, කතා කරන්නට මට අවසර දුන මැනවි. ඇතැම් විට තිස්දෙනකු පමණක් එහි සිටිය හැකි යැ” යි පැවසී ය.
“තිස්දෙනකු එහි මට හමු වුණොත්, මම එසේ නො කරන්නෙමි” යි උන්වහන්සේ පැවසූ සේක.
31ඔහු යළි කතා කරමින්, “බලන්න! දැං ස්වාමින්ට කතා කරන්නට තරම් මම එඩිතර වුණෙමි. ඇතැම් විට විසිදෙනකු එහි සිටිය හැකි වෙතැ” යි කීවේ ය.
“ඒ විසිදෙනා නිසා, මම එය විනාශ නො කරමි” යි උන්වහන්සේ පැවසූ සේක.
32එවිට ඔහු, “අහෝ, ස්වාමින් කෝප නො වන සේක්වා. තව එක් වරක් පමණක් කතා කරන්නට ඉඩ දුන මැනවි. ඇතැම් විට දහ දෙනකු එහි සිටිය හැකි වෙතැ” යි කීවේ ය.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ දහ දෙනා නිසා, මම එය විනාශ නො කරන්නෙමි” යි කී සේක.
33ආබ්‍රහම් සමඟ කතා කර නිම වූ පසු, ස්වාමින්වහන්සේ නික්ම ගිය සේක. ආබ්‍රහම් ආපසු ගෙදර ගියේ ය.
Iliyochaguliwa sasa
උත්පත්ති 18: SCV
Kuonyesha
Shirikisha
Nakili
Je, ungependa vivutio vyako vihifadhiwe kwenye vifaa vyako vyote? Jisajili au ingia
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.