උත්පත්ති 17
17
චර්ම-ඡේදන ගිවිසුම
1ආබ්‍රම් අනූනව වන වියට පත් කල, ස්වාමින්වහන්සේ ඔහුට පෙනී, “මම සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ය#17:1 සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ය එනම් ඒල්-ෂද්දයි. මා අබියස හැසිරෙමින් නිර්දෝෂී ව සිටින්න; 2එසේ මා හා ඔබ අතර මගේ ගිවිසුම මම ස්ථිර කරන්නෙමි. ගණනින් ඔබ බහුල ලෙස වැඩි කරන්නෙමි” යි කී සේක.
3ආබ්‍රම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. දෙවියන්වහන්සේ ඔහු ඇමතූ සේක්, 4“මෙන්න! මා ඔබ සමඟ කරන මගේ ගිවිසුම මෙයයි; බොහෝ ජාතීනට ඔබ පියා වනු ඇත. 5තවදුරටත් ඔබ ආබ්‍රම් යනුවෙන් අමතනු ලබන්නේ නැත. ඔබගේ නම ආබ්‍රහම්#17:5 ආබ්‍රහම් එනම් සමූහයක පියාණෝ යන අරුත ගෙන දෙයි. වන්නේ ය. මන්ද, බොහෝ ජාතීන්ගේ පියා බවට මම ඔබ පත් කළෙමි. 6මම, ඔබ අතිශයෙන් සඵල කරන්නෙමි. ඔබෙන් ජාතීන් ඇති කරන්නෙමි. රජවරුන් ඔබගෙන් පැවත එනු ඇත. 7ඔබේ දෙවියන්වහන්සේ වන පිණිස ද ඔබෙන් පසු ඔබේ දරු පරපුරේ දෙවියන්වහන්සේ වන පිණිස ද මා හා ඔබ අතරේත්, ඔබෙන් පසු මා හා ඔබේ දරු පරපුර අතරේත් පරපුරින් පරපුරට සදාතනික ගිවිසුමක් කොට, මගේ ගිවිසුම පිහිටු වන්නෙමි. 8පිටදේශක්කරුවකු සේ ඔබ දැන් වෙසෙන දේශය, මේ මුළු කානාන් දේශය, මම ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සදාතනික උරුමයක් කොට දෙන්නෙමි. මම ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි” යි පැවසූ සේක.
9දෙවියන්වහන්සේ ඉන්පසු ආබ්‍රහම් ඇමතූ සේක්, “ඔබ ගැන නම්, ඔබත්, ඔබෙන් පසු පැවත එන ඔබේ දරු පරපුරත්, පරපුරින් පරපුරට මගේ ගිවිසුම රක්ෂා කළ යුතුයි. 10ඔබ සමඟත්, ඔබගෙන් පසු ඔබෙන් පැවත එන්නන් සමඟත් වන මගේ ගිවිසුම, ඔබ විසින් පිළිපැදිය යුතු ගිවිසුම, මෙයයි: ඔබ අතරෙහි හැම පිරිමියකු චර්මඡේද කළ යුතු ය. 11ඔබ ඔබේ ලිංගාග්‍ර චර්මයෙහි මාංසය ඡේදන කළ යුතු ය. මාත්, ඔබත් අතර ගිවිසුමේ ලකුණ වන්නේ එයයි. 12මතු එන පරම්පරාවලදී දින අටක් වයස් වූ ඔබ අතරෙහි හැම පිරිමියකු ම චර්මඡේද කළ යුතු ය. ඔබෙන් පැවත එන්නන් නො වුව ද, ඔබ නිවසේ උපන් අය ද විදෙස්සකුගෙන් මිල දී ගත් අය ද මීට ඇතුළත් ය. 13ඔබේ නිවසේ ම උපන්නේ වුව ද ඔබේ මුදලින් මිල දී ගනු ලැබුවේ වුව ද ඔවුන් චර්මඡේද කළ යුතු ම ය. මෙසේ, මගේ ගිවිසුම සදාතනික ගිවිසුමක් ව ඔබේ මාංසයෙහි වන්නේ ය. 14තම ලිංගාග්‍ර චර්මයෙහි මාංසය ඡේද නො කළ, චර්මඡේද නො ලද හැම පිරිමියකු ම ඔහුගේ ජනයා වෙතින් සිඳ දමනු ලැබේ. ඔහු මගේ ගිවිසුම කඩකොට ඇත්තේ යැ” යි පැවසූ සේක.
15දෙවියන්වහන්සේ තවදුරටත් ආබ්‍රහම් ඇමතූ සේක්, “සාරයි ගැන කියතහොත්, ඔබ තවදුරටත් ඔබේ භාර්යාව, සාරයි නමින් අමතන්නේ නැත. ඇගේ නම මින් මතු සාරා#17:15 සාරා එනම් කුමාරිකාව වනු ඇත. 16මම ඇයට ආශිර්වාද කරන්නෙමි. නියතයෙන් ම ඇගෙන් ඔබට පුතකු ලබා දෙන්නෙමි. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. ඈ, ජාතීනට මව වන්නී ය. ජනතාවගේ රජුන් ඇය වෙතින් බිහිවනු ඇතැ” යි පැවසූ සේක.
17ආබ්‍රහම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. ඔහුට සිනා ගියේ ය. “අවුරුදු සීයක් වයස්ගත කෙනකුට දාව, පුතකු බිහි වෙයි ද? සාරා, ඇගේ වයස අනූවේදී දරුවකු ලබන්නේ දැ?” යි තමාට ම කියා ගත්තේ ය. 18ආබ්‍රහම් දෙවියන්වහන්සේ අමතමින්, “අහෝ, ඔබවහන්සේගේ ආශිර්වාද යටතේ ඉෂ්මායෙල් ජීවත් වේවා!” යි පැවසී ය.
19එවිට දෙවියන්වහන්සේ, “සැබවින් ම ඔබේ බිරිඳ සාරා, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඊසාක්#17:19 ඊසාක් එනම් සිනහව නමින් ඔබ ඔහු ඇමතිය යුතු ය. ඔහු සමඟ මගේ ගිවිසුම සදාතනික ගිවිසුමක් කොට මා පිහිටුවන්නේ, ඔහුගෙන් පසු ඔහුගේ දරු පරපුර සඳහා ය. 20ඉෂ්මායෙල් ගැනත් මම ඔබට කන් දුනිමි. මම ඔහු සඵල වන්නට සලසා, ගණනින් ඔහු බොහෝ වන්නට සලසමි. ඔහු අධිපතීන් දොළොස් දෙනකුගේ පියා වනු ඇත. විශාල ජාතියක් බවට මම ඔහු පත් කරන්නෙමි. 21එහෙත් මගේ ගිවිසුම මා පිහිටුවනු ලබන්නේ, ලබන වසරේ මේ කාලයට සාරා විසින් ඔබට බිහි කරන ඊසාක් සමඟිනි” යි පැවසූ සේක. 22මෙසේ ආබ්‍රහම් සමඟ කතාව නිම වූ පසු, දෙවියන්වහන්සේ ඔහු වෙතින් නැගී ගිය සේක.
23ඒ දවසේ ම ආබ්‍රහම් තම පුත් ඉෂ්මායෙල් ද තම නිවසේ උපන්නා වූත්, තමා විසින් මිල දී ගෙන තිබුණා වූත් සියල්ලන් ද යන වශයෙන් ඔහුගේ ගෘහවාසී සියලු පිරිමින් කැඳවා, දෙවියන්වහන්සේ ඔහුට පැවසූ පරිදි, ඔවුන්ගේ ලිංගාග්‍ර චර්මය ඡේද්‍ය කළේ ය. 24චර්මඡේද ලබන කල, ආබ්‍රහම්ගේ වයස අවුරුදු අනූනවයකි. 25චර්මඡේද ලබන කල, ඔහුගේ පුත් ඉෂ්මායෙල් අවුරුදු දහතුනකි. 26ඒ එක ම දවසේ ආබ්‍රහම් ද ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද චර්මඡේද ලදහ. 27මෙසේ ආබ්‍රහම්ගේ නිවසේ ඉපදුණු හෝ ඔහු විසින් විදෙස්සකුගෙන් මිල දී ගන්නා ලද හෝ සේවකයින් ඇතුළු ව ඔහුගේ ගෘහවාසී සියලු පිරිමි ඔහු සමඟ චර්මඡේද ලදහ.
Iliyochaguliwa sasa
උත්පත්ති 17: SCV
Kuonyesha
Shirikisha
Nakili
Je, ungependa vivutio vyako vihifadhiwe kwenye vifaa vyako vyote? Jisajili au ingia
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.