Logoja YouVersion
Ikona e kërkimit

ශු. මතෙව් 20

20
මිදිවත්තේ වැඩකාරයන් ගැන උපමාව
1මක්නිසාද තමාගේ මිදිවත්තට වැඩකාරයන් කුලියට ගන්නා පිණිස අලුයම පිටත්ව ගිය ගෙදර ස්වාමියෙකුට ස්වර්ගරාජ්‍යය සමානය. 2ඔහු දවසකට මස්සක් බැගින් දෙන ලෙස වැඩකාරයන් සමඟ පොරොන්දුව, තමාගේ මිදිවත්තට ඔවුන් යැවීය. 3ඔහු තුන්වෙනි පැය පමණේදීත් පිටත්ව ගොස්, වෙළඳාම්පළේ නිකම් සිටින තවත් අය දැක: 4නුඹලාත් මිදිවත්තට යන්න, ලැබිය යුතු කුලිය නුඹලාට දෙමියි කීවේය. ඔව්හුද ගියෝය. 5නැවත ඔහු හවෙනි සහ නවවෙනි පැය පමණේදීත් පිටත්ව ගොස් එසේම කෙළේය. 6එකොළොස්වෙනි පැය පමණේදීත් පිටත්ව ගොස්, එහි තවත් අය සිටිනවා දැක: නුඹලා මෙතැන දවස මුළුල්ලේ නිකම් සිටින්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවේය. 7කිසිවෙකු විසින් අප කුලියට නොගත් නිසායයි ඔව්හු කීවෝය. එවිට ඔහු: නුඹලාත් මිදිවත්තට යන්නැයි ඔවුන්ට කීවේය. 8සවස්වූ කල මිදිවත්තේ ස්වාමියා තමාගේ ගබඩාකාරයාට කථාකොට: වැඩකාරයන් කැඳවා අන්තිමයන්ගෙන් පටන්ගෙන පළමුවෙනියන් දක්වා ඔවුන්ට කුලිය දෙන්නැයි කීවේය. 9එවිට එකොළොස්වෙනි පැය පමණේදී කුලියට ගන්නාලද අය ඇවිත් එක එකා මස්සක් බැගින් ලැබුවෝය. 10පළමුවෙනියෝ ඇවිත්, තමුන්ට වැඩියෙන් ලැබේයයි සිතුවෝය; නුමුත් ඔව්හුද එක එකා මස්සක් බැගින්ම ලැබුවෝය. 11එය ලැබූ කල ඔව්හු ගෙදර ස්වාමියාට විරුද්ධව කොඳුරමින්: 12මේ අන්තිමයෝ එක පැයක් පමණ වැඩකළෝය, නුමුත් ඔබ දවසේ බරත් අව්රස්නයත් දැරුවාවූ අපට ඔවුන් සමානකෙළෙහියයි කීවෝය. 13එහෙත් ඔහු ඔවුන්ගෙන් එක්කෙනෙකුට උත්තරදෙමින්: යහළුව, මා නුඹට අයුත්තක් කරනවා නොවේ. නුඹ මා සමඟ මස්සකට පොරොන්දුවුණා නොවේද? 14නුඹ සන්තක දේ රැගෙන යන්න; නුඹට දුන් හැටියටම මේ අන්තිමයාටත් දෙන්ට කැමැත්තෙමි. 15මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරුදැයි කීවේය. 16මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝයයි කීසේක.
යේසුස්වහන්සේ තුන්වෙනි වර තමන් මරණය ගැන කලින් කීම
17යේසුස්වහන්සේ යෙරුසලමට යන කල ගෝලයන් දොළොස්දෙනා වෙන්කොටගෙන මගදී ඔවුන්ට කථාකොට: 18අපි යෙරුසලමට යමුව; මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයන්ටත් ලියන්නන්ටත් පාවාදෙනු ලබන්නේය; ඔව්හුද ඔහු මරණයට නියමකොට, 19කවටකම්කිරීමටත් තැළීමටත් කුරුසියෙහි ඇණගැසීමටත් අන්‍යජාතීන්ට පාවාදෙන්නෝය. නුමුත් තුන්වෙනිදා ඔහු නැගුටුවනු ලබන්නේයයි කීසේක.
ලෞකික ගරුබුහුමන් පිළිබඳ ඉල්ලීමක්
20එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මවු ඇගේ පුත්‍රයන් සමඟ උන්වහන්සේ ළඟට ඇවිත්, නමස්කාරකොට, වරයක් ඉල්ලුවාය. 21උන්වහන්සේ: නුඹට ඕනෑ කුමක්දැයි ඇගෙන් ඇසූසේක. ඈද: ඔබගේ රාජ්‍යයෙහිදී මේ මාගේ පුත්‍රයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳින්ට නියමකළ මැනවයි කීවාය. 22නුමුත් යේසුස්වහන්සේ උත්තර දෙමින්: නුඹලා ඉල්ලන්නේ කුමක්දැයි නුඹලා දන්නේ නැත. මා බොන්ට යන කුසලානෙන් බොන්ට නුඹලාට පුළුවන්දැයි ඇසූසේක. අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. 23උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ඒකාන්තයෙන් නුඹලා මාගේ කුසලානෙන් බොන්නහුය. නුමුත් මාගේ දකුණු පැත්තේද වම් පැත්තේද ඉන්ට දීම මට අයිති නැත, එහෙත් මාගේ පියාණන් විසින් ඒවා යමෙකුට නියමකරනලද්දේද ඔවුන්ටයයි කීසේක. 24එවිට දසදෙන ඒ අසා ඒ සහෝදරයන් දෙදෙනා ගැන කිපුණෝය.
සැබෑ උතුම්කම
25නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. 26නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. 27නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. 28එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.
අන්ධයන් දෙදෙනෙකුගේ ඇස් පෑදවීම
29ඔවුන් යෙරිකෝවෙන් පිටත්ව යන අතර මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය. 30පාර අද්දර ඉඳගනහුන් අන්ධයන් දෙදෙනෙක් යේසුස්වහන්සේ ඒ ළඟින් යන බව අසා: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි මොරගැසුවෝය. 31ඔවුන් නිශ්ශබ්දවන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. නුමුත් ඔව්හු: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි වඩ වඩා මොරගැසුවෝය. 32යේසුස්වහන්සේ නැවතී ඔවුන් කැඳවා: මා විසින් නුඹලාට කුමක් කරනවාට කැමතිදැයි ඇසූසේක. 33ස්වාමිනි, අපේ ඇස් පහදනු ලැබීමටයයි ඔව්හු උන්වහන්සේට කීවෝය. 34යේසුස්වහන්සේ ඔවුන්ට අනුකම්පාකරමින්, ඔවුන්ගේ ඇස් අතගෑසේක. එවලේම ඔව්හු පෙනීම ලැබ උන්වහන්සේ අනුව ගියෝය.

Aktualisht i përzgjedhur:

ශු. මතෙව් 20: SROV

Thekso

Kopjo

Krahaso

Ndaje

None

A doni që theksimet tuaja të jenë të ruajtura në të gjitha pajisjet që keni? Regjistrohu ose hyr