YouVersion Logo
Search Icon

යෙසායා 50:4-9

යෙසායා 50:4-9 SCV

වෙහෙසවූවන් වචනයෙන් දරා සිටින්නට දැනගනු පිණිස, පරමාධිපති ස්වාමින්වහන්සේ දැනුමැති දිවක් මට දී ඇත. ඉගෙන ගන්නා කෙනකු මෙන් සවන් දෙන පිණිස, මගේ සවන් අවදි කරමින්, උන්වහන්සේ උදයෙන් උදය මා අවදි කරන සේක. පරමාධිපති ස්වාමින්වහන්සේ මගේ සවන විවර කළ සේක. මා කැරලි ගැසුවේ නැත. ආපස්සට හැරුණේ ද නැත. මට පහර දෙන්නන්ට මම මගේ පිට පෑවෙමි. මගේ රැවුල් ඇද දමන්නන්ට මගේ කම්මුල් පෑවෙමි. සමච්චලයට හා කෙළ පහරට මා මගේ මුහුණ සඟවා ගත්තේ නැත. එහෙත් පරමාධිපති ස්වාමින්වහන්සේ මට උපකාර කළ සේක; එබැවින් මා නින්දාවට පත් වූයේ නැත. එබැවින් මම මගේ මුහුණ ගිනිගලක් මෙන් තබාගත්තෙමි. මා ලජ්ජාවට පත් නො කරනු ලබන වග මම දනිමි. මා නිදොස් කරන තැනැන්වහන්සේ ළං ව සිටින සේක. එසේ නම් මට එරෙහිව චෝදනා නගන්නේ කවුරු ද? අපි එක් ව නැගිට සිට ගනිමු. මට එදිරිවාදියා කවුරු ද? කවරෙක් ද? ඔහු මට ළං වුණා වේ. මෙන්න පරමාධිපති ස්වාමින්වහන්සේ මට උපකාර කරන සේක. මා වරදකරුවකැයි ප්‍රකාශ කරන්නේ කවුරු ද? ඔන්න! ඔවුන් සැවොම ඇඳුමක් සේ පරණ වනු ඇත. කාවුන් ඔවුන් කා දමනු ඇත.