රෝම 10

10
1සහෝදරයිනි, ඔවුන් උදෙසා මා හදවතේ ආශාවත්, දෙවියන්වහන්සේට මගේ යාච්ඤාවත් ඔවුන් ගලවනු ලැබීම ය. 2හරි වැටහීමෙන් තොර ව වුව ද, ඔවුන් දෙවියන්වහන්සේ වෙත දැඩි උද්යෝගයෙන් සිටින බවට මම ඔවුන් ගැන සාක්ෂි දරමි. 3මන්ද දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම නො දන්නාකමින්, තමන්ගේ ම ධර්මිෂ්ඨකම පිහිටුවීමට සෙවූ ඔවුහු, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නො වූහ. 4මන්ද විශ්වාස කරන හැම කෙනකුට ම ධර්මිෂ්ඨකම උදෙසා ව්‍යවස්ථාවේ කෙළවර ක්‍රිස්තුස්වහන්සේ ය.
5මන්ද ව්‍යවස්ථාවට පාදක වූ ධර්මිෂ්ඨකම ගැන මෝසෙස් සඳහන් කරන්නේ, “ඒ දෑ කරන තැනැත්තා එයින් ජීවත් වන්නේ ය”#10:5 ලෙවී 18;5 යනුවෙනි. 6එහෙත් ඇදහිල්ලට පාදක වූ ධර්මිෂ්ඨකම පවසන්නේ, “ ‘ස්වර්ගයට නැගෙන්නේ කවරෙක් ද’#10:6 ද්වි 30;12 (ක්‍රිස්තුස්වහන්සේ පහළට ගෙනෙන පිණිස) කියා හෝ 7‘පාතාලයට බසින්නේ කවරෙක් ද’#10:7 ද්වි 30;13 (ක්‍රිස්තුස්වහන්සේ මළවුන් වෙතින් ගෙනෙන පිණිස) කියා හෝ ඔබේ සිතින් නො කියන්න” කියා ය. 8එහෙත් එයින් පවසන්නේ කුමක් ද? “වචනය ඇත්තේ ඔබට ඉතා සමීප ව ය; එය ඔබේ මුවෙහි ය, ඔබේ හදවතේ ය”#10:8 ද්වි 30;14 කියා ය. ඒ, අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ වචනයයි. 9මන්ද යේසුස්වහන්සේ, ස්වාමින්වහන්සේ යැයි ඔබේ මුවින් ප්‍රකාශ කරන්නේ නම්, දෙවියන්වහන්සේ මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ වග ඔබේ හදවතින් විශ්වාස කරන්නේ නම්, ඔබ ගලවනු ලබනු ඇත. 10මන්ද හදවතින් විශ්වාස කිරීමෙන් කෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබයි; මුවින් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ගලවනු ලබයි. 11මන්ද, “උන්වහන්සේ තුළ විශ්වාස කරන කිසිවෙක් ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැතැ”#10:11 යෙසා 28;16 යි ශුද්ධ ලියවිල්ල පවසයි. 12මන්ද යුදෙව් සහ ග්‍රීක කියා වෙනසක් නැත; උන්වහන්සේ හැමෝට ම ස්වාමියාණන් වන එක ම ස්වාමින්වහන්සේ ව සිටිමින්, තමන් අයදින සියල්ලනට ස්වකීය ඉසුර ප්‍රදාන කරන සේක. 13මන්ද, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් අයදින හැම කෙනෙක් ම ගලවනු ලබන්නේ ය.”#10:13 යෝවෙල් 2:32
14එසේ නම්, තමන් විශ්වාසය නො තැබූ කෙනකුට ඔවුන් යදින්නේ කොහොම ද? එසේ ම, තමන් නො ඇසූ කෙනකු තුළ ඔවුන් විශ්වාසය තබන්නේ කොහොම ද? යමෙක් දේශනා නො කළොත් ඔවුන් අහන්නේ කොහොම ද? 15තවද යවනු ලැබුවොත් මිස, යමෙක් දේශනා කරන්නේ කොහොම ද? ලියා තිබෙන පරිදි, “සුබ ආරංචි ගෙනෙන අයගේ පාද, කොපමණ අලංකාර ද!”#10:15 යෙසා 52;7
16එහෙත් ඔවුන් සියලු දෙනා ශුභාරංචියට කීකරු වූයේ නැත. මන්ද යෙසායා කතා කරමින්, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු දැ?”#10:16 යෙසා 53;1 යි පවසයි. 17මෙසේ, ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙනි; ඇසීම ක්‍රිස්තුස්වහන්සේගේ වචනය තුළිනි. 18එහෙත් මම මෙසේ අසමි: ඔවුන්ට අසන්නට ලැබුණේ නැති ද? සැබවින් ම ඔවුහු එය ඇසූහ.
“ඔවුන්ගේ පණිවුඩය, පොළොව මුළුල්ලේ පැතිරේ;
ඔවුන් පවසන වචන, ලොව එහා කෙළවරටත් දිවේ.”#10:18 ගීතා 19;4
19මම මෙසේ අසමි: ඉශ්‍රායෙල් වටහා ගත්තේ නැති ද? පළමු කොට, මෝසෙස් මෙසේ පවසයි,
“ජාතියක් නො වන්නවුන් කෙරෙහි මම ඔබ ඊර්ෂ්‍යා කරවන්නෙමි.
අඥාන ජාතියක් ලවා මම ඔබ කෝපයට පත් කරමි.”#10:19 ද්වි 32;21
20ඉන්පසු යෙසායා නිර්භය ව කතා කරමින්,
“මා නො සෙවූ අය විසින් මා සොයාගෙන ඇත;
මා ගැන නො විමසූ අයට මම එළිදරවු වීමි”#10:20 යෙසා 65;1 යි පවසයි.
21එහෙත්, ඉශ්‍රායෙල් ගැන ඔහු කියන්නේ,
“දවස මුළුල්ලේ මා මගේ දෑත් දිගු කර ගෙන සිටියේ
අකීකරු, හිතුවක්කාර ජනතාවක් වෙත ය”#10:21 යෙසා 65;2 කියා ය.

اکنون انتخاب شده:

රෝම 10: SCV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید