Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

තීතස් 1

1
1දෙවියන් වහන්සේගේ සේවකයෙකු ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු ද වන පාවුලු නම් මම, දෙවියන් වහන්සේ තෝරාගත් සෙනඟගේ ඇදහිල්ල ශක්තිමත් කර, දේව භක්තියෙහි සත්‍යය ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කරන පිණිස ලියමි. 2ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය. 3උන් වහන්සේ මේ වචනය නියමිත කාලයේ දී සිය පණිවුඩය මඟින් එළිදරව් කළ සේක. අප ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ අණ පරිදි, එය ප්‍රකාශ කිරීම මට පවරන ලදී.
4 # 2 කොරි 8:23; ගලා 2:3; 2 තිමෝ 4:10 අපගේ පොදු ඇදහිල්ලෙහි මාගේ සැබෑ පුත්‍රයා වන තීතස් වෙත මම මෙය ලියා එවමි. දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපගේ ගැළවුම්කාර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, කරුණාවත්, ශාන්තියත් ඔබට වේ වා!
ක්‍රීතයෙහි තීතස්ගේ සේවය
5මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ, ඉතුරු කටයුතු සම්පූර්ණ කරන පිණිසත්, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණිසත් ය. 6#1 තිමෝ 3:2-7 එසේ පත් කරන මූලිකයා නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් පමණක් සිටින, කල්ක්‍රියාව ගැන සැකයට කරුණක් නැති, මනා හැසිරීමක් ඇති, ඇදහිලිවන්ත දරුවන් සිටින තැනැත්තෙකු විය යුතු ය. 7සභා නායක තෙමේ දෙවියන් වහන්සේගේ ගබඩාකාරයෙකු වශයෙන් නිදොස් වූ, හිතුවක්කාර නො වූ, නොකිපෙන සුලු, මත්පැනට ලොල් නො වූ, කලහකාරී නො වූ, අයුතු ලාභයට ගිජු නො වූ, 8ආගන්තුක සත්කාරයට ළැදි, යහපතට ප්‍රිය කරන, ශාන්තදාන්ත, දැහැමි, ශුද්ධ, දැමුණු ඉඳුරන් ඇති තැනැත්තෙකු විය යුතු ය. 9තවද, ඔහු ධර්මානුකූල ව අනුශාසනා කරන්නට ද, විරුද්ධවාදීන් නිහඬ කරන්නට ද සමත් වන පිණිස, ධර්මානුකූල ඇදහිල්ලෙහි ස්ථිර ව පිහිටා සිටින තැනැත්තෙකු ද විය යුතු ය.
10ඇත්ත වශයෙන් කියතොත්, හිතුවක්කාර, නන් දොඩන, රැවටිලිකාර, බොහෝ දෙනෙක්, විශේෂයෙන් චර්මඡේදිතයන් අතර සිටිති. 11ඔවුන්ගේ කට පියවාදැමිය යුතු ය. ඔව්හු ලජ්ජා නැති ව, මුදල් ගැරීමේ අදහසින් අයුතු දේ උගන්වමින්, පවුල් මුළුමනින් ම අවුල් කරදමති. 12“ක්‍රීත වැසියෝ කවදත් බොරුකාරයෝ ය; දරුණු තිරිසන්නු ය; කම්මැලි කෑදරයෝ ය”යි ඔවුන්ගේ ම රට වැසි දිවැසිවරයෙකු කියා ඇත. 13මේ කීම සැබෑ ය. මේ කාරණය නිසා ඔවුන් ජුදෙව් මිථ්‍යා ප්‍රබන්ධ ද, සත්‍යයට පිටු පාන මිනිසුන්ගේ උපදෙස් ද නොසලකා, 14ඇදහිල්ලෙහි නිවැරදි ව පිහිටන පිණිස ඔවුන්ට තදින් තරවටු කරන්න. 15පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය; දූෂිත, අභක්තික අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ සිතත්, හෘදය සාක්ෂියත් දූෂණය වී තිබේ. 16ඔව්හු දෙවියන් වහන්සේ දන්නා බව කියති. එහෙත් ස්වකීය ක්‍රියාවලින් උන් වහන්සේ නාඳුනන බව දක්වති; ඔව්හු පිළිකුල් ව, මුරණ්ඩු ව, යහපත කිරීමට අපොහොසත් ව සිටිති.

S'ha seleccionat:

තීතස් 1: SNRV

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió