2 තිමෝති 4
4
1දෙවියන් වහන්සේ ඉදිරියෙහි ද, ජීවතුන්ගේ ද, මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඉදිරියෙහි ද, එතුමාණන්ගේ ආගමනයේ හා රාජ්‍යයේ ද නාමයෙන් මා ඔබට පවරන භාරදූර කටයුත්ත මේ ය: 2දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න. 3මන්ද, සාර ධර්මය නොතකා, තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය. 4එවිට ඔව්හු සත්‍යයට කන් නොදී, මිථ්‍යා ප්‍රබන්ධවලට හැරෙන්නෝ ය. 5එහෙත් ඔබ සියලු අවස්ථාවල දී සන්සුන් ලෙස ක්‍රියා කරන්න, දුක් ඉවසන්න, ධර්මදූත සේවයේ යෙදෙන්න. ඔබට පැවරී ඇති වගකීම් මනා ලෙස ඉටු කරන්න.
6මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ. 7මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි. 8දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේ දී සාධාරණ විනිශ්චයකාර සමිඳාණන් වහන්සේ එය මට දෙන සේක. මට පමණක් නොව, උන් වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට ද එය දෙන සේක.
පෞද්ගලික උපදෙස්
9ඉක්මනින් මා වෙත එන්නට උත්සාහ කරන්න. 10#2 කොරි 8:23; ගලා 2:3; කොලො 4:14; පිලෙ 24; තීතස් 1:4 මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්‍රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය. 11#ක්‍රියා 12:12,25; 13:13; 15:37-39; කොලො 4:10,14; පිලෙ 24ලූක් පමණක් මා සමඟ සිටී. මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි. 12#ක්‍රියා 20:4; එපී 6:21-22; කොලො 4:7-8 තුකිකස් එපීසයට යැවීමි. 13#ක්‍රියා 20:6 ත්‍රෝවස්හි දී කාර්පස් ළඟ මා තබා ආ සළුව ද පොත් ද විශේෂයෙන් සටහන් පොත් ද ඔබ එන විට ගෙනෙන්න.
14 #
ගීතා 62:12; රෝම 2:6; 1 තිමෝ 1:20 තඹකරු ඇලෙක්සැන්දර් මට බොහෝ නපුරුකම් පෑවේ ය. සමිඳාණන් වහන්සේ ඔහු කළ දෙයට නිසි විපාක දෙන සේක. 15ඔබත් ඔහුගෙන් පරිස්සම් වෙන්න. මන්ද ඔහු අප දුන් පණිවුඩයට දරුණු ලෙස විරුද්ධ වූ බැවිනි.
16මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා. 17එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි. 18සමිඳාණන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා, උන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
අවසාන ආශීර්වාදය
19 #
ක්‍රියා 18:2; 2 තිමෝ 1:16-17 ප්‍රිස්කාට ද අකිලාට ද ඔනෙසිපොරස්ගේ පවුලේ අයට ද ආචාර කරමි. 20#ක්‍රියා 19:22; 20:4; 21:29; රෝම 16:23 එරස්තස් කොරින්තියෙහි නතර විය. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවත්වා ආවෙමි. 21ශීත කාලයට පෙර එන්නට උත්සාහ කරන්න, ජුබුලස් ද පුදෙන්ස් ද ලීනස් ද ක්ලෝඩියා ද සහෝදර පිරිස ද ඔබට ආචාර කරති.
22සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා! ඔබ සැමට කරුණාව වේ වා!
S'ha seleccionat:
2 තිමෝති 4: SNRV
Subratllat
Copia
Compara
Comparteix
Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió