තීතස් 2
2
ක්‍රිස්තියානි හැසිරීම පිළිබඳ උපදෙස්
1ඔබ නම්, නිවැරදි ධර්මයට අනුකූල දේ ඉගැන්විය යුතු ය. 2වයස්ගත පුරුෂයන්, තැන්පත්, තලතුනා, දැමුණු, තිරසර ඇදහිල්ලක් ද ප්‍රේමය ද ඉවසිල්ල ද ඇති අය විය යුතු ය. 3එසේ ම වයස්ගත ස්ත්‍රීන් ද ශුද්ධ ජීවිතයකට ඔබින ලෙස හැසිරෙන, අපහාස නොනඟන, මත්පැනට ඇබ්බැහි නො වූ, යහපත් දේ උගන්වන අය විය යුතු ය. 4මෙසේ විය යුතු වන්නේ, දේව වචනයට අපහාසයක් නොවන පිණිස, සිය පුරුෂයන්ටත්, දරුවන්ටත් ප්‍රේම කරමින්, 5ආත්ම දමනය ඇති, නිර්මල ගෘහණියන් ලෙස, කරුණාවන්ත ව, සිය ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටීමට යෞවන භාර්යාවන් පුහුණු කරවනු පිණිස ය.
6එසේ ම ආත්ම දමනය ඇති ව සිටීමට තරුණයන්ට අවවාද කරන්න. 7සියල්ලෙහි දී ඔබ ම යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් වන්න. ඔබ උගන්වන විට අවංක ව ප්‍රතිපත්තිගරුක ව සිටින්න. 8විරුද්ධවාදීන්ට අප ගැන කිසි නපුරක් කීමට ඉඩක් නොතබා ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස, දෝෂාරෝපණයට ලක් කළ නොහැකි අයුරින් සාරවත් ගුරුකම් දෙන්න.
9සියලු කාරණාවල දී තම ස්වාමිවරුන්ට යටත් ව සිටීමටත්, වාද නොකොට ඔවුන් සතුටු කිරීමටත් දාසයන්ට අවවාද කරන්න. 10එසේ ම, සොරකම් නොකොට, සම්පූර්ණ විශ්වාසය ඇති ව සිටිමින් හැම අයුරින් ම අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ධර්මය බැබළවිය යුතු බව ඔවුන්ට උගන්වන්න.
කිතුනු සදාචාරයේ පදනම
11සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත. 12-13අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්, සිහිනුවණින් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණිස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය. 14සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.#නික්ම 19:5; ද්වි.නී. 4:20; 7:6; 14:2; ගීතා 130:8; 1 පේදු 2:9
15සම්පූර්ණ බලය ඇති ව මේ දේවල් උගන්වන්න, අනුශාසනා කරන්න, තරවටු කරන්න, ඔබ සුළු කොට සිතන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.
S'ha seleccionat:
තීතස් 2: SNRV
Subratllat
Copia
Compara
Comparteix
Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió