සෙෆනියා 1:1-18
සෙෆනියා 1:1-18 SCV
ස්වාමින්වහන්සේගේ වචනය, ආමොන්ගේ පුත්, යූදාහි රජු වූ යොෂීයාගේ දවස්හි සෙෆනියා වෙත පැමිණියේ ය. ඔහු කූෂීගේ පුත්‍රයා ය. ඔහු ගෙදලියාගේ පුත්‍රයා ය. ඔහු අමරියාගේ පුත්‍රයා ය. ඔහු හෙසකියාගේ පුත්‍රයා ය. ස්වාමින්වහන්සේගේ “පොළෝ තලය මතු පිටින් මම හැම දෙයක් මුළුමනින් අතු ගා දමන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මම මානව හා සත්ව වර්ගයා අතු ගා දමන්නෙමි. මම අහසේ පක්ෂීන් ද මුහුදේ මත්ස්‍යයින් ද දුෂ්ටයන් පැකිලීමට සලස්වන දේවල් ද මම අතු ගා දමන්නෙමි. “පොළෝ තලේ මතු පිටින් මිනිසා සිඳ දමන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මම යූදාට එරෙහිව ද යෙරුසලමෙහි ජීවත් වන සියල්ලන්ට එරෙහිව ද මගේ හස්තය දිගු කරන්නෙමි. බාල් වඳින්නන් ඉතිරි ස්වල්ප දෙනා ද මිථ්‍යාදෘෂ්ටික පූජකයින්ගේ නාම ද සමඟ මෙම ස්ථානයෙන් මා සිඳ දමන්නේ, පූජකයින් වන අහස් සේනාවන් නමදිනු පිණිස ගෙපියසි උඩ වැඳ වැටෙනවුන් ය, ස්වාමින්වහන්සේට වැඳ වැටෙමින්, උන්වහන්සේගේ නාමයෙන් දිවුරමින්, මිල්කොම් දෙවියාගේ නාමයෙන් ද දිවුරන්නන් ය, ස්වාමින්වහන්සේ අනුගමන කිරීමෙන් ඉවත හැරුණු, තවදුරටත් ස්වාමින්වහන්සේ සොයන්නේවත්, උන්වහන්සේගෙන් විමසන්නේවත් නැතියවුන් ය.” පරමාධිපති ස්වාමින්වහන්සේ ඉදිරියේ නිශ්ශබ්ද වනු! මන්ද, ස්වාමින්වහන්සේගේ දවස අත ළඟ ය. ස්වාමින්වහන්සේ යාග පූජාවක් සූදානම් කර ඇත. උන්වහන්සේ ඇරියුම් කළවුන් උන්වහන්සේ විශුද්ධ කළ සේක. “ස්වාමින්වහන්සේගේ යාග පූජා දවසේ, අධිපතීන්ට ද රජුගේ පුත්‍රයින්ට ද විදේශික ඇඳුමින් සැරසුණු සියල්ලන්ට ද මම දඬුවම් කරන්නෙමි. තමන්ගේ ස්වාමිවරුන්ගේ දේවාල, සැහැසිකමෙන් ද රැවටිල්ලෙන් ද පුරවන එළිපත්ත පෑගීමෙන් වළකින සියල්ලන්ට ඒ දවසේ මම දඬුවම් කරන්නෙමි.” ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “ඒ දවසේ මත්ස්‍ය දොරටුවේ සිට හැඬීමක් නැගී එන්නේ ය. දෙවන කාර්තුවේ සිට වැලපීමක් ද කඳුකරයේ බිඳ වැටීමේ ඝෝෂාවක් ද වන්නේ ය. මක්තේෂ්හි වාසය කරන්නෙනි, වැලපෙන්න; නුඹලාගේ සියලු වෙළඳුන් තවදුරටත් නැත. රිදී මගින් වෙළඳාමේ යෙදෙන සියල්ලෝ විනාශ වී යති. එකල්හි මම පහන්වල එළියෙන් යෙරුසලමෙහි මෙහෙයුමක් කර, ස්වකීය මණ්ඩි මත නිසංසල ව ඇති මිදි යුෂ මෙන් ‘ස්වාමින්වහන්සේ හොඳක් හෝ නරකක් හෝ නො කරතැ’ යි සිතා සිටින්නන්ට දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුවට යැවේ. ඔවුන් ගෙවල් ගොඩ නගන නමුත් ඒවායේ වාසය ඔවුන්ට නො ලැබේ. ඔවුන් මිදි වතු වවන නමුත් ඒවායින් මිදි යුෂ බීමට ඔවුනට නො ලැබේ.” ස්වාමින්වහන්සේගේ මහා දවස ළඟ ය; එය අත ළඟ ව ඉක්මනින් පැමිණේ. ස්වාමින්වහන්සේගේ දවසේ නාදය කටුක ය, ප්‍රබල මිනිස්සු එහිදී උස් හඬ නගා හඬති. ඒ දවස, උදහසේ දවසකි; ආපදාවේ හා සන්තාපයේ දවසකි. විපත්තියේ හා විනාශයේ ද දවසකි. අන්ධකාරයේ හා දොම්නස්භාවයේ ද දවසකි. වලාකුළෙන් බර කළුවර දවසක් ය. පවුරින් වට පුරවරවලට එරෙහි, ආරක්ෂිත කුලුනුවලට එරෙහි හොරණෑ නාදයත්, යුද්ධ ඝෝෂාවත් නැගෙන දවසක් ය. ඔවුන් අන්ධයින් මෙන් ඇවිද යන පිණිස මම මිනිස් වර්ගයා පිට විපත්තිය ගෙනෙන්නෙමි. මන්ද ඔවුන් ස්වාමින්වහන්සේට විරුද්ධ ව පව් කර ඇති බැවිනි. ඔවුන්ගේ ලේ දූවිලි සේ ද ඔවුන්ගේ බඩවැල් අශූචි සේ ද වගුරුවනු ලැබේ. ස්වාමින්වහන්සේගේ උදහසේ දවසේ, ඔවුන්ගේ රිදීවලට හෝ ඔවුන්ගේ රන්වලට ඔවුන් ගලවා ගැනීමට නුපුළුවන.





