YouVersion Logo
Search Icon

සෙකරියා 8

8
සියොනට සාමය, සෞභාග්‍යය
1සේනාංකවල ස්වාමින්වහන්සේගේ වචනය යළිත් පැමිණියේ ය.
2සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “සියොන උදෙසා මම මහත් වූ ඊර්ෂ්‍යාවකින් ඊර්ෂ්‍යා වන්නෙමි. ඇය උදෙසා වූ ඉමහත් උදහසකින් මම ඊර්ෂ්‍යා කරන්නෙමි.”
3 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මම සියොන වෙත ආපහු හැරී එන්නෙමි. අවුත්, යෙරුසලමෙහි වාසය කරන්නෙමි. එවිට යෙරුසලම විශ්වාසවන්ත පුරවරය නමින් හැඳින්වෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේගේ කන්ද, ශුද්ධ කන්ද නමින් හැඳින්වෙනු ඇත.”
4සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “නැවත වරක් හොඳ මහලු වයසේ වූ ගැහැණු-පිරිමි, වැඩිහිටි අය ඔවුන්ගේ වයෝවෘද්ධ භාවය නිසා සැරයටියක් ද අතැතිව යෙරුසලමේ වීදිවල වාඩිවනු ඇත. 5කෙළි සෙල්ලම් කරන දරු දැරියන්ගෙන් එපුර වීදි පිරී යනු ඇත.”
6සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “එකල මේ ජනයාගෙන් ඉතිරි ස්වල්ප දෙනාට එය අරුමයක් සේ පෙනී ගිය හැකි ය. එහෙත් මට එය අරුමයක් වේ දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
7සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නැගෙනහිර හා බටහිර රටවලින් මගේ ජනයා මම මුදා ගන්නෙමි. 8යෙරුසලමෙහි වාසය කරන පිණිස, මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. ඔවුහු මගේ ජනයා වන්නෝ ය. විශ්වාසවන්තකමින් හා දමිටුකමින් මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.”
9සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “සේනාංකවල ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි අත්තිවාරම් ලූ කල, එහි පෙනී සිටින දිවැසිවරුන් විසින් පවසන ලද වචන මේ දවස්වල අසන්නනි, දේව මාලිගය ගොඩ නගනු පිණිස, දිරිමත් වී, ඔබගේ අත් සවිමත් ව තිබේවා. 10මන්ද ඒ කාලයට පෙර මිනිසුනට හෝ සතුනට හෝ කවර කුලියක් හෝ ලැබුණේ නැත. සතුරු කරදර නිසා කිසිවකුටත් නිදහසේ ගමනක්-බිමනක් යෑමට ලැබුණේ ද නැත. මන්ද මම, හැම කෙනකු ම තම අසල්වැසියාට විරුද්ධ වන්නට සැලැස්වීමි. 11එහෙත් දැන්, මේ ජනයාගේ ඉතිරි ස්වල්ප දෙනා ගැන මම එලෙසින්, එදවස්හි මෙන් ක්‍රියා නො කරන්නෙමි” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
12“මන්ද සාමයෙන් යුතු ව වගා කටයුතු සිදු වනු ඇත; මිදි වැල පල දරනු ඇත; මහ පොළොව අස්වනු උපද්දනු ඇත; අහසින් පිනි වැටෙනු ඇත. මේ සියල්ල මේ ජනයාගේ ඉතිරි ස්වල්ප දෙනාට උරුමයක් කොට දෙන්නෙමි. 13එම්බා යූදා වංශිකයිනි, ඉශ්‍රායෙල් වංශිකයිනි, අන්‍ය-ජාතීන් අතරෙහි අපහාසයට ලක් ව සිටි නුඹලා ආශිර්වාදයක් වනු පිණිස, මම නුඹලා ගලවා ගන්නෙමි. භය නො වන්න: ඔබේ අත් ශක්තිමත් කර ගැනේවා.”
14මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔබේ පියවරුන් මා කෝපයට පත් කළ කල, මා ඔවුන්ට අනුකම්පා නො කර, ඔවුන් විපතට හෙළීමට අධිෂ්ඨාන කළ සේ ම, 15දැන් යෙරුසලමට හා යූදා වංශයට සෙත සලසන්නට මම අධිෂ්ඨාන කළෙමි” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “භය නො වන්න. 16ඔබ කළ යුතු දෑ මේවායි: එකිනෙකා සමඟ සත්‍යය කතා කරන්න. යුක්තිය පසිඳලීමේදී සත්‍යවාදී ව හා යුක්ති සහගත ව දොරටුවේදී විනිශ්චය කරන්න. 17ඔබේ අසල්වැසියාට එරෙහිව නපුරු උපා නො යොදන්න. බොරු දිවුරන්නට ආශා නො කරන්න. මම ඒ සියල්ලට ද්වේෂ කරමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
18සේනාංකවල ස්වාමින්වහන්සේගේ වචනය යළිත් මා වෙත පැමිණියේ ය.
19සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “හතර වන, පස් වන, හත් වන හා දහ වන මස උපවාස ශීලය දවස් යූදා වංශයට ප්‍රීතියේත්, ප්‍රමෝදයේත් අවස්ථා ද මංගල උත්සව ද වනු ඇත. එබැවින්, සත්‍යයටත් සාමයටත් ප්‍රේම කරන්න.”
20සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නොයෙක් ජනයින් හා නොයෙක් නගර වාසීන් පැමිණෙනු ඇත. 21එක් නගරයක වැසියන් තවත් නගරයක් වෙත ගොස්, ‘ස්වාමින්වහන්සේගේ කරුණාව අයදින්නටත්, සේනාංකවල ස්වාමින්වහන්සේ සොයන්නටත් අපි වහා යමු. මෙන්න මමත් යමි’ යි කියනු ඇත. 22නොයෙකුත් ජනතාවෝ ද බලවත් ජාතීහු ද සේනාංකවල ස්වාමින්වහන්සේ සොයන්නටත්, උන්වහන්සේගේ කරුණාව අයදින්නටත් යෙරුසලමට එන්නෝ ය.”
23සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “එකල්හි හැම බසකට හා දැයකට අයත් දහ දෙනෙක්, එක් යුදෙව්වරයකුගේ සළු කොනින් අල්ලාගෙන, ‘අපට ඔබ සමඟ යන්න ඉඩ දෙන්න. මන්ද දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටින බැව් අපි අසා ඇත්තෙමු’ යි” කියනු ඇත.

Currently Selected:

සෙකරියා 8: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in