YouVersion Logo
Search Icon

සෙකරියා 14

14
ස්වාමින්වහන්සේගේ පැමිණීම
1මෙන්න! ස්වාමින්වහන්සේ උදෙසා දවසක් පැමිණෙයි. ඔබගෙන් කොල්ලකනු ලැබූ දෑ, එකල ඔබ ඉදිරියෙහි දී ම බෙදා දෙනු ලබනු ඇත.
2යෙරුසලමට එරෙහිව සටන් කරන පිණිස මම සියලු ජාතීන් එක් රැස් කරන්නෙමි. නගරය අල්ලා ගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කෙරෙති; නගරවාසීන්ගෙන් හරි අඩක් වහල්කමට ගෙන යනු ලැබේ. එහෙත් ජනතාවගෙන් ඉතිරි කොටස නගරයෙන් පිටතට ගෙන යනු නො ලබති. 3එවිට ස්වාමින්වහන්සේ පිටත් ව ගොස්, සංග්‍රාම දවසේ උන්වහන්සේ සටන් වදින්නා සේ, එම ජාතීන්ට එරෙහිව සටන් කරන සේක. 4ඒ දවසේ උන්වහන්සේගේ පා යෙරුසලමට ඉදිරිපිටින් පෙරදිගට පිහිටි ඔලීව කන්ද මත සිටගනු ඇත. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බස්නාහිර දක්වා දෙකඩ වී, කන්දෙන් අඩක් උතුරු දෙසටත්, අනෙක් අඩ දකුණු දෙසටත් වෙන් ව යන සේ, මහත් මිටියාවතකින් දෙකඩ වන්නේ ය. 5මගේ කඳු මිටියාවත මැදින් ඔබ පලා යනු ඇත. එම මිටියාවත ආසල් දක්වා ම දිවෙනු ඇත. යූදාහි රජ වූ උස්සියාගේ දවස්හි දී වූ භූමිකම්පාවෙන් ඔබ පලා ගිය අයුරින් ම ඔබ පලා යනු ඇත. එකල මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තමන් සමඟ සියලු ශුද්ධවතුන් ද ගෙන පැමිණෙන සේක.
6ඒ දවසේ එළියක් ඇති නො වන්නේ ය: ශීතලය හෝ හිම වැටීමක් හෝ නො වන්නේ ය. 7දිවා රැයින් තොර ඒ දවස, අසමසම දවසක් වනු ඇත. ස්වාමින්වහන්සේ දන්නා ඒ දවසේ සවස ද එළිය තිබෙනු ඇත.
8ඒ දවසේ ජීවන දිය යෙරුසලමින් ගලා යයි. ඉන් අඩක් නැගෙනහිර මුහුදට ද අඩක් බස්නාහිර මුහුදට ද ගිම්හානයේ මෙන් ම සිසිරයේ ද ගලා යනු ඇත.
9 ස්වාමින්වහන්සේ මුළු පොළෝ තලයට ම රජ වනු ඇත; එදවසේදී ස්වාමින්වහන්සේ එක් කෙනෙක් ම ය. උන්වහන්සේගේ නාමය එකක් ම ය.
10ගෙබා සිට යෙරුසලමට දකුණින් රිම්මෝන් දක්වා මුළු දේශය තැනිතලාවක්#14:10 තැනිතලාවක් හෙබ්‍රෙව් අරාබා මෙන් වනු ඇත. එහෙත් යෙරුසලම ඔසවනු ලැබ, බෙන්යමින් දොරටුවේ සිට පළමු දොරටු තිබූ බිමේ කොනේ දොරටු දක්වා ද හනනේල් කොතේ සිට රාජකීය මිදි මෝල දක්වා ද වූ ඊට අයත් ස්ථානයෙහි ම පවතිනු ඇත. 11එය ජනාවාස වනු ඇත. මන්ද විනාශය පිළිබඳ නියමයක් යළි නො වනු ඇත. යෙරුසලම සුරක්ෂිත ව වෙසෙනු ඇත.
12යෙරුසලමට එරෙහිව සටන් වැදුණු සියලු ජනයින්ට ස්වාමින්වහන්සේ පහර දෙන්නේ මෙලෙසිනි; මෙම ව්‍යසනයේදී ඔවුන් දෙපයින් සිටගෙන සිටියදී ම ඔවුන්ගේ සිරුරේ මස්, කුණු වී යනු ඇත. ඔවුන්ගේ ඇස්, නෙත්-කුහරය තුළ ද ඔවුන්ගේ දිව්, ඔවුන්ගේ මුව තුළ ද කුණු වී යනු ඇත. 13ඒ දවසේ ස්වාමින්වහන්සේ විසින් එවනු ලබන මහත් සංත්‍රාසයක් ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් හැම කෙනෙක් ම අනිකාගේ අතින් අල්ලාගෙන, එකිනෙකාට පහර දෙනු ඇත. 14යූදා ද යෙරුසලමෙහි සටන් වදිනු ඇත. රන්, රිදී හා රෙදි පිළි විශාල ප්‍රමාණයකින් යුතු වස්තු සම්භාරයක් ම අවට වෙසෙන සියලු ජාතීන්ගෙන් ඔවුන් එකතු කර ගනු ලබනු ඇත. 15මෙම ව්‍යසනය වැනි ව්‍යසනයක් අශ්වයින්, කොටළුවන්, ඔටුවන්, බූරුවන් හා ඔවුන්ගේ එම කඳවුරුවල සිටින හැම සතුන් පිට පතිත වනු ඇත.
16ඉන්පසු යෙරුසලමට පහර දුන් සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින අය සේනාංකවල ස්වාමින්වහන්සේ වන රජ්ජුරුවන්ට නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යයට සහභාගී වන පිණිසත් වසරින් වසර යෙරුසලමට පැමිණෙනු ඇත. 17සේනාංකවල ස්වාමින්වහන්සේ වන රජ්ජුරුවන්ට නමස්කාර කරන පිණිස, පොළොවේ කිසියම් ජනතාවක් යෙරුසලමට නො පැමිණේ ද, ඔවුනට වැසි වසින්නේ නැත. 18ඊජිප්තුවන් යෙරුසලමට නො යන්නේ නම්, මංගල්‍යයට සහභාගි නො වෙත් නම්, කූඩාරම් මංගල්‍යයට සහභාගි නො වන ජාතීනට දඬුවම් වශයෙන් ස්වාමින්වහන්සේ පමුණු වන ව්‍යසනය ම ඔවුනටත් පමුණු වන සේක. 19කූඩාරම් මංගල්‍යයට සහභාගීවීමට නො එන ඊජිප්තු ජනතාවටත්, සෙසු සියලු ජාතීනටත් අත්වන දඬුවම මෙයයි.
20ඒ දවසේ අශ්වයින්ගේ මිණිගෙඩිවල පවා, “ස්වාමින්වහන්සේට ශුද්ධ ය” යන වචන කොටා තිබෙනු ඇත. ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි හැළි-වළං ද පූජාසනය ඉදිරියේ ඇති ඉසින පාත්‍ර මෙන් වේ. 21යෙරුසලමේ හා යූදාහි ඇති හැළි-වළං හැමකක් ම සේනාංකවල ස්වාමින්වහන්සේට ශුද්ධ බඳුන් වනු ඇත; පුද පූජා සඳහා පැමිණෙන්නන් එම බඳුන් ගෙන, මස පිසිනු ඇත. ඒ දවසේ පටන් කිසිදු වෙළෙන්දකු#14:21 වෙළෙන්දකු හෝ කානානියකු සේනාංකවල ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි නො සිටිනු ඇත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in