YouVersion Logo
Search Icon

තීතස් 3

3
ගැලවීමේ අරමුණ යහපත් ක්‍රියාවන් වේ
1මේවා ඔවුන්ට මතක් කර දෙන්න; පාලකයින්ට හා අධිපතීනට යටත් විය යුතු බැව් ද කීකරු විය යුතු බැව් ද හැම යහපත් ක්‍රියාවකට සූදානම් ව සිටිය යුතු බැව් ද 2කිසිවකු ගැන නපුරක් නො කිව යුතු බැව් හා අඬදබරවලින් වැළකී, ආචාර සම්පන්න ව, හැම දෙනා ඉදිරියේ සැබවින් නිහතමානී ව සිටිය යුතු බැව් ද යන වශයෙනි.
3කලක් අපත් අනුවණ ව හා අකීකරු ව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල් ව, දුෂ්ට සිතැති ව, ඊර්ෂ්‍යාවෙන් යුතු ව, පිළිකුල් සහගත ව, එකිනෙකාට ද්වේෂ කරමින් අපගේ දවස් ගත කළෙමු. 4එහෙත් අපගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේගේ යහ ගුණයත්, ආදර කරුණාවත් ප්‍රකාශ වූ කල, 5උන්වහන්සේ අප ගැලෙව්වේ, අප කළ ධර්මිෂ්ඨකම් නිසා නො ව, උන්වහන්සේගේ දයාවන් නිසා නැවත ඉපදීම නැමති සේදීම හා ශුද්ධාත්මයාණන්ගේ අලුත් කිරීම මගින් ය. 6උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ගැලවුම්කරුවාණන් මගින් අධික ව ශුද්ධාත්මයාණන් අප පිට වගුළේ, 7උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අප නිර්දෝෂ කරනු ලැබ, සදාතන ජීවන බලාපොරොත්තුවේ උරුමක්කරුවන් බවට අප පත් වන පිණිස ය. 8මේ කියමන විශ්වසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන් ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුට ම විශිෂ්ට ය; වැඩදායක ය.
9එහෙත් අනුවණ තර්ක ද පෙළපත් වංශ හා වාද විවාද හා ව්‍යවස්ථාව පිළිබඳ ආරවුල් යනාදියෙන් වැළකී සිටින්න. ඒවා අවැඩදායක ය; නිෂ්ඵල ය. 10බෙදීම් ඇතිකරන්නාට වරක් දෙවරක් අවවාද කිරීමෙන් පසු ඔහුගෙන් අහක් වෙන්න. 11එබඳු අය වංක ගති ඇති පාපීන් ය. ඔවුන් තමනට ම දඬුවම් පමුණුවා ගනිති.
අවසන් ආචාරය
12අර්තිමස් හෝ තුකිකස් හෝ මා ඔබ වෙත එවූ විගස මා හමුවට නිකපොලිස් නගරයට එන්න. මගේ තීරණය ශීත කාලය නිකපොලිස්හි ගත කරන්නටයි. 13නීතිඥ සේනාස්ට හා අපොල්ලොස්ට ඔවුන්ගේ ගමන සඳහා කළ හැකි හැම උපකාරයක් ම කරන්න. අඩුවක් නැතිව, ඔවුන්ට හැම දේ සපයා දෙන්න.
14අප ජනතාව තම අවශ්‍යතා සපයා ගැන්ම සඳහා ද නිකමුන් නො වනු සඳහා ද යහපත් වැඩවලට තමන් ම කැපවීම උගත යුතු ව ඇත.
15මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති.
ඇදහිල්ලේ පැවත, අපට ප්‍රේම කරන අයට ආචාර කරන්න.
අනුග්‍රහය ඔබ හැම සමඟ වේවා!

Currently Selected:

තීතස් 3: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in