රූත් 1:1-7
රූත් 1:1-7 SCV
විනිසුරුවන්ගේ පාලන සමයේ, දේශයේ සාගතයක් ඇති විය. යූදාහි බෙත්ලෙහෙම් පුර එක් මිනිසෙක්, තම බිරිඳ හා තම පුතුන් දෙදෙනා කැටිව, මද කලක් වෙසෙනු පිණිස, මෝවබ් රටට ගියේ ය. ඒ මිනිසාගේ නම වූයේ, එලීමෙලෙක් ය. ඔහුගේ බිරිඳගේ නම නායොමි ය. ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් වූයේ, මාලොන් හා කිලියොන් ය. ඔවුහු යූදාහි බෙත්ලෙහෙමේ එෆ්‍රාත්වරු වූහ. මෝවබ් රටට ගිය ඔවුහු, එහි නැවතුණහ. එහෙත් නායොමිගේ සැමියා, එලීමෙලෙක් මළේ ය. ඇගේ පුතුන් දෙදෙනා සමඟ ඈ තනි වූවා ය. මොවුහු මෝවබිය කාන්තාවන් ආවාහ කර ගත්හ. එක තැනැත්තියකගේ නම ඔර්පා ය. අනෙක් තැනැත්තිය රූත් ය. ඔවුහු දස වසරක් පමණ එහි විසූ පසු, මාලොන් හා කිලියොන් යන දෙදෙනා ද මළහ. එබැවින් එම කාන්තාව ඇගේ පුතුන් දෙදෙනාගේ හා තම සැමියාගේ වියොවින්, තනි වූවා ය. ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට ආහාර සැපයීමෙන්, ඔවුන්ගේ පිහිටට පැමිණි වග, මෝවබ්හි දී නායොමිට අසන්නට ලැබිණ. එකල ඈ, තම ලේලීන් දෙදෙනා සමඟ යළි ගම-රට බලා ආපසු යෑමට ලැහැස්ති වූවා ය. තමන් පදිංචි ව සිටි තැනින් නික්ම, තම ලේලීන් දෙදෙනා සමඟ ඈ ගමනට පිටත් ව ආපසු යූදා දේශයට යන මගෙහි ගමන් ගත්තා ය.

![[Ruth] Returning to a Covenant Relationship රූත් 1:1-7 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F32172%2F1440x810.jpg&w=3840&q=75)



