රෝම 9:6-18
රෝම 9:6-18 SCV
එහෙත් දෙවියන්වහන්සේගේ වචනය අසමත් වූවා සේ පෙනෙනවා නො වේ; මන්ද ඉශ්‍රායෙල් වෙතින් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් නො වේ. ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන නිසා ම ඒ සියල්ලෝ ඔහුගේ දරුවන් නො වෙති. එහෙත්, “ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මගිනි.” මෙහි අදහස, දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ මාංසයේ දරුවන් නො වන බවත්, වංශය වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුවේ දරුවන් බවත් ය. මන්ද පොරොන්දුවේ කියැවෙන්නේ මෙයයි: “ලබන වසරේ මේ කාලයට මම යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇත” කියා ය. එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මගින්, අප ආදි පිය ඊසාක් මගින් දරුවන් පිළිසිඳ ගත් කල, ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර, දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස, “වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ” යි ඇයට පවසන ලද්දේ, “මම යාකොබ්ට ප්‍රේම කළෙමි; එහෙත් ඒසව්ට ද්වේෂ කළෙමි” යි ලියා ඇති පරිදි ය. එසේ නම් අපි කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අසාධාරණ යැයි කිව හැකි ද? සත්තකින් ම නැත! මන්ද උන්වහන්සේ මෝසෙස්ට කියන්නේ, “දයාව දක්වන්නට මා කැමති කෙනාට, මම දයා වන්නෙමි; අනුකම්පා කරන්නට මා කැමති කෙනාට, මම අනුකම්පා කරන්නෙමි” කියා ය. එබැවින්, එය රඳා පවත්නේ මිනිසාගේ කැමැත්ත හෝ ප්‍රයත්න හෝ මත නො ව, දයාව දක්වන්නා වූ දෙවියන්වහන්සේ මත ය. මන්ද ශුද්ධ ලියවිල්ල පාරාවෝට පවසන්නේ, “මා නුඹ නැගිට වූයේ, මේ අරමුණ උදෙසා ම ය; එනම්, නුඹ තුළින් මගේ බලය පෙන්වා, පොළොව මුළුල්ලේ මගේ නාමය ප්‍රකාශ වන පිණිස ය” කියා ය. මෙසේ, උන්වහන්සේ දයාවන්නට කැමති තැනැත්තාට, උන්වහන්සේ දයාව පානා සේක; උන්වහන්සේ දැඩි කරන්නට කැමති තැනැත්තා, දැඩි කරන සේක.





