YouVersion Logo
Search Icon

රෝම 6:1-11

රෝම 6:1-11 SCV

එසේ නම් කුමක් කියන්නෙමු ද? අනුග්‍රහය බහුල වන පිණිස, අප දිගට ම පවෙහි ගැලෙනවා ද? කොහෙත් ම නැත! පාපයට මළා වූ අප, තවදුරටත් එහි ජීවත් වන්නේ කෙසේ ද? ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ අප සැවොම, උන්වහන්සේගේ මරණයට බව්තීස්ම කරනු ලැබ ඇති වග ඔබ දන්නේ නැති ද? එබැවින් අපි උන්වහන්සේ සමඟ බව්තීස්මය මගින් මරණයට පත් ව, වළලනු ලැබීමු. එසේ වූයේ පියාණන්වහන්සේගේ තේජෝ බලයෙන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේ ම, අපත් ජීවිතය අලුත්කමකින් ගත කරන පිණිස ය. උන්වහන්සේගේ මරණයෙන් මෙලෙස අප උන්වහන්සේ සමඟ එක් කරනු ලැබුවා නම්, නිසැකයෙන් ම උන්වහන්සේගේ මරණින් නැගිටීමෙන් ද අපි උන්වහන්සේ සමඟ එක් කරනු ලබන්නෙමු. තවදුරටත් පාපයේ වහල් බවට පත් නො වන්නට, පාපයේ ශරීරය නැති වන පිණිස, අපගේ පැරණි මනුෂ්‍යයා, උන්වහන්සේ සමඟ කුරුසිපත් කරන ලද බැව් අපි දනිමු. මන්ද මළ තැනැත්තා පාපයෙන් නිදහස් කරනු ලැබ ඇත. ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ද ජීවත් වන වග, අපි විශ්වාස කරන්නෙමු. ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබ සිටින බැවින්, කිසි කල යළි මැරෙන්නේ නැති වග අපි දනිමු. මරණයට තවදුරටත් උන්වහන්සේ කෙරේ ආධිපත්‍යයක් නැත. උන්වහන්සේ මැරුණ මරණයෙන්, උන්වහන්සේ එක ම වරක් පාපයට මළ සේක; එහෙත් උන්වහන්සේ ජීවත් වන ජීවිතයෙන්, දෙවියන්වහන්සේට ජීවත් වන සේක. එලෙස ම ඔබත්, පාපයට මැරී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්වන්නන් වග කල්පනාවට ගන්න.

Free Reading Plans and Devotionals related to රෝම 6:1-11