රෝම 1:24-32
රෝම 1:24-32 SCV
එබැවින් ඔවුන්ගේ හදවත්හි තෘෂ්ණාවල දූෂ්‍යතාවට, එකිනෙකා අතර තමන්ගේ ම සිරුරු අවමන් කර ගැනීමට, දෙවියන්වහන්සේ ඔවුන් අත් හළ සේක. මන්ද ඔවුන් දෙවියන්වහන්සේ පිළිබඳ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් මාරු කර ගෙන, මැවුම්කරුවාණන්ට වඩා මැවිල්ලට වන්දනා ද මෙහෙවර ද කළ නිසා ය. උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය; ආමෙන්. දෙවියන්වහන්සේ මේ හේතුව නිසා, නින්දිත ලිංගික ආශාවන්ට ඔවුන් අත්හැරිය සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික සබඳතා, සොබා දහමට පටහැනි සේවනයට මාරු කර ගත්හ. එපරිදි ම පුරුෂයෝ, ස්ත්‍රීන් සමඟ වූ ස්වාභාවික සබඳතා අතහැර, එකිනෙකා සමඟ කාම දාහයෙන් දැවෙන්නට වන්හ. පිරිමි, පිරිමින් සමඟ නිර්ලජ්ජිත ක්‍රියාවල යෙදී, තම දුරාචාරයනට සරිලන දඬුවම තමන් තුළෙහි ම ලදහ. තවද දෙවියන්වහන්සේ තම අවබෝධයෙහි රඳවා ගැනීම වටනේයයි ඔවුන් නො සිතූ බැවින්, නො කළ යුතු දෑ කරන පිණිස, නීච මනසකට දෙවියන්වහන්සේ ඔවුන් අත් හළ සේක. සියලු ආකාර අධර්මිෂ්ඨකමින්, දුෂ්ටකමින්, තණ්හාවෙන් හා ද්වේෂයෙන් පුරවනු ලැබ සිටින ඔවුහු, ඊර්ෂ්‍යාවෙන්, මිනී මැරීමෙන්, කලහයෙන්, වංචාවෙන් හා ක්‍රෝධයෙන් පිරී සිටිති. ඔවුහු ඕපාදූප පතුරන්නෝ ය; අවලාද නගන්නෝ ය; දෙවියන්වහන්සේට වෛර කරන්නෝ ය; අහංකාරීහු ය; මාන්නාධිකයෝ ය; පුරසාරම් දොඩන්නෝ ය; දුෂ්ට උගුල් අටවන්නෝ ය; මව් පියන්ට අකීකරුවන්නෝ ය; ඔවුහු බුද්ධිය නැත්තෝ ය; පොරොන්දු කඩ කරන තැනැත්තෝ ය, සිත්-පිත් නැත්තෝ ය, දයාව නැත්තෝ ය. මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝ ය යනුවෙන් වූ දෙවියන්වහන්සේගේ නියමය දැන දැනත්, ඔවුහු එබඳු දේ ම කරනවා පමණක් නො ව, එසේ කරන්නන්ට අනුබල ද දෙති.





