YouVersion Logo
Search Icon

එළිදරවු 8

8
සත් වන මුද්‍රාව සහ රන් දුම් බඳුන
1බැටළු පැටවාණන් හත් වන මුද්‍රාව කැඩූ කල, අඩ පැයකට පමණ ස්වර්ගයේ නිහැඬියාවක් විය.
2දෙවියන්වහන්සේ ඉදිරිපිට සිටගෙන සිටි දේව දූතයින් හත්දෙනා ඉන්පසු මම දුටිමි. ඔවුනට හොරණෑ හතක් දෙන ලදී.
3රන් දුම් බඳුනක් රැගත් වෙනත් දේව දූතයෙක් අවුත්, පූජාසනය ළඟ සිට ගත්තේ ය. සිංහාසනය ඉදිරිපිට රන් පූජාසනය මත, සියලු ශුද්ධවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස, සුවඳ ද්‍රව්‍ය බොහොමයක් ඔහුට දෙන ලදී. 4ඒ සුවඳ ද්‍රව්‍යයන්හි දුම, ශුද්ධවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයා අතින් දෙවියන්වහන්සේ අබියසට නැංගේ ය. 5ඒ දේව දූතයා දුම් බඳුන ගෙන, පූජාසනයේ ගින්නෙන් එය පුරවා, එය පොළොව පිට හෙළී ය. එවිට මේඝ ගර්ජනා ද ශබ්ද රාව ද විදුලි අකුණු ධාරා ද භූමිකම්පාවක් ද ඇති විය.
හොරණෑ හත
6එවිට හොරණෑ හත ඇති ව සිටි දේව දූතයින් හත්දෙනා ඒවා පිඹින්නට සූදානම් වූහ.
7පළමු දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ලේ මිශ්‍ර ගල් වැස්සක් හා ගිනි හටගැනී, ඒවා පොළොව පිටට හෙළනු ලැබී ය. එයින්, පොළොවෙන් තුනෙන් එකක් දවා දැමිණ. ගස්වලින් තුනෙන් එකක් දවා දැමිණ. අමු තණකොළ සියල්ල ද දවා දැමිණ.
8දෙවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ගිනි ඇවිළෙන යෝධ කන්දක් වැනි යමක් මුහුදට හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් එකක් ලෙයට හැරිණ. 9මුහුදෙහි පණ ඇති සතුන්ගෙන් තුනෙන් එකක් මළහ. නැව්වලින් තුනෙන් එකක් විනාශ කෙරිණ.
10තුන් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට මහත් තරුවක් ගිනි හුළක් සේ ඇවිළෙමින්, ගංගාවල තුනෙන් එකක් පිට ද දිය උල්පත් පිට ද අහසේ සිට කඩා වැටිණ. 11ඒ තරුවේ නම “තිත්ත” ය. ජලයෙන් තුනෙන් එකක් ඉන් තිත්ත විණි. තිත්ත ව තිබූ ඒ ජලයෙන් බොහෝ දෙනා මළහ.
12සිවු වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් එකකට ද සඳුගෙන් තුනෙන් එකකට ද තරුවලින් තුනෙන් එකකට ද පහර දෙනු ලැබී ය. එසේ වූයේ ඒවායින් තුනෙන් එකක් අඳුරු වන පිණිසත්, දහවලෙන් තුනෙන් එකක් නො බබළන පිණිස හා රැයෙන් තුනෙන් එකකට එය ම වන පිණිසත් ය.
13මා බලා සිටියදී ඉහළ අහසේ පියාසර කරමින් සිටි රාජාලියකු උස් හඬින් මෙසේ මොර ගසනු මට ඇසිණි. “දේව දූතයින් තුන් දෙනා පිඹින්නට යන අනෙක් හොරණෑ නාද නිසා, මිහි පිට වාසීනට දුක් වේ! දුක් වේ! දුක් වේ!”

Currently Selected:

එළිදරවු 8: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in