ගීතාවලිය 7:1-9
ගීතාවලිය 7:1-9 SCV
අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මම ඔබ තුළ රැකවරණ ලබන්නෙමි; මා ලුහුබැඳ එන සියල්ලන්ගෙන් මා ගලවනු මැන, මා බේරාගත මැන. නැතහොත්, සිංහයකු සේ උන් මා ඩැහැගෙන ගොස්, කිසිවකුට මුදා ගත නො හැකි තැනකදී කීතු කීතුවලට මා ඉරා දමනු ඇත. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මම කෙනකුට වරදක් කළෙම් නම්, මා අත අයුක්තිය වේ නම්, මම මගේ මිතුරා පාවා දුන්නෙම් නම්, නොහොත් මට සතුරුවූවන්ගේ දෑ අහේතුක ව උදුරා ගත්තෙම් නම්, මගේ සතුරා මා ලුහුබැඳ අවුත්, මා අල්ලා ගනිත්වා! ඔවුහු මා බිම දමා පාගා දමත්වා, මගේ කීර්තිය දූලියෙහි බාවා තබත්වා! සෙලා නැගිටිනු මැන අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන්; නැගී සිටිනු මැන රුදුරු කෝපයට එරෙහිව මගේ සතුරන්ගේ; පිබිද සිට යුක්තිය ප්රකාශ කළ මැනව, මගේ දෙවියන්වහන්ස. ජනතාවෝ එක් රැස් වී ඔබ වටකර ගනිත්වා; ඔවුනට ඉහළින් උසස් තැන්හි සිහසුන්ගත වන්න. ජනයින් විනිශ්චය කරන්නේ ස්වාමින්වහන්සේ ය; මගේ දැහැමිකමට අනුව, මගේ අවංකකමට අනුව මට යුක්තිය ඉටු කළ මැනව අහෝ මහෝත්තම ස්වාමින්වහන්ස. ධර්මිෂ්ඨ දෙවියන්වහන්ස, සිත් හා හදවත් පිරික්සන්නේ ඔබ ය. අදමිටුවන්ගේ සැහැසිකම් නිමාවට පත් කරමින්, දමිටුනට පිහිට වුව මැනව.





