YouVersion Logo
Search Icon

ගීතාවලිය 63

63
ගීතාවලිය 63
දාවිත්ගේ ගීතයකි. ඔහු යූදා කාන්තාරයේ සිටියදී.
1අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය,
ආශාවෙන් මම ඔබ සොයන්නෙමි.
ඔබ ගැන මම පිපාසිත ව සිටිමි;
දිය බිඳක් නොමැති
වියළි, කාෂ්ට දේශයකදී මෙන්
මගේ මුළු ගතම ඔබ ගැන ආශා වෙයි.
2ශුද්ධස්ථානය තුළදී මම ඔබ දැක ඇත්තෙමි,
ඔබගේ බලයත්, තේජෝ මහිමයත් දෙස මම බලා සිටියෙමි.
3ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය,
මගේ දෙතොලතරින් ඔබට ප්‍රශංසා කරමි.
4ජීවිතේ ඇති තුරා මම ඔබ පසසන්නෙමි,
ඔබගේ නාමයෙන් මම මගේ අත් ඔසවන්නෙමි.
5රසමසවුලෙන් මෙන් මම තෘප්තියට පත් වන්නෙමි;
ගී ගයන තොලින් යුතු ව, මා මුවින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.
6නිදි යහනේදී මම ඔබ සිහි කරන්නෙමි;
රෑ තුන්යමේ මම ඔබ ගැන සිත සිතා ඉන්නෙමි.
7මන්ද මගේ උපකාරය ඔබවහන්සේ ය,
ඔබගේ පියාපත් සෙවණේ හිඳ, මම ගී ගයන්නෙමි.
8මම ඔබට ඇලී ගැලී සිටින්නෙමි;
ඔබගේ දකුණත මා උසුලා දරා සිටී.
9මගේ ජීවිතය නසන්නට මානබලන්නෝ විනාශයට පත් වන්නෝ ය;
ඔවුන් පොළොවේ ගැඹුරට ම කිඳා යනු ඇත;
10ඔවුන්, කඩුවට බිලිවීමට නියම ව ඇත.
ඔවුන්, හිවලුන්ගේ ගොදුරක් බවට පත් වනු ඇත.
11එහෙත් රජු, දෙවියන්වහන්සේ තුළ ප්‍රීති වෙයි;
දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවුරන සැවොම උන්වහන්සේට ප්‍රශංසා කරන්නෝ ය,
බොරුකරුවන්ගේ මුව වසනු ලැබේ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in