YouVersion Logo
Search Icon

ගීතාවලිය 50

50
ගීතාවලිය 50
ආසාෆ්ගේ ගීතයකි.
1දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ,
හිරු උදා වන තැන් සිට, හිරු බැස යන තැන් දක්වා
මුළු පොළොවට කතා කරමින්, කැඳවන සේක.
2අලංකාරයෙන් පිරිපුන් සියොන් පුර සිට
දෙවියන්වහන්සේ වැජඹෙන්නාහ.
3අපේ දෙවියන්වහන්සේ පැමිණෙන සේක,
අවුත් නිහඬ ව නො සිටින සේක;
උන්වහන්සේ අබිමුවේ ගිල දමන ගින්නකි,
උන්වහන්සේ වටා වියරු චණ්ඩ මාරුතයකි.
4උන්වහන්සේ තම ජනයා විනිශ්චය කරන පිණිස,
ඉහළ අහසටත්, පොළොවටත් හඬ ගසන සේක:
5“යාග පූජා මගින් මා හා ගිවිසුමක් කළ
මගේ කැපවූවන් මා වෙත එක් රැස් කරන්න.”
6විනිශ්චයකරුවාණෝ දෙවියන්වහන්සේ ම බැවින්
අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය ප්‍රකාශ කරයි. සෙලා
7“මේ අහන්න, එම්බා මගේ ජනයිනි, මම කතා කරන්නෙමි;
එම්බා ඉශ්‍රායෙල්, මම ඔබට එරෙහිව සාක්ෂි දෙන්නෙමි:
මම දෙවියන්වහන්සේ ය, ඔබගේ දෙවියන්වහන්සේ ය.
8මා ඔබට තරවටු කරන්නේ, නිති පතා මා ඉදිරියේ තබන ඔබගේ යාග පූජා හා
ඔබගේ දවන යාග පූජා ගැන නො වේ.
9නුඹලාගේ ගාලෙන් ගවයකුවත්,
නුඹලාගේ පට්ටිවලින් එළුවන්වත් මට ඕනෑ නැත.
10මහ වනයේ සිටින හැම සතකු ම මගේ ය.
දහසක් කඳුවල සිටින ගව රංචු ද මගේ ය.
11කඳුකරේ සිටින හැම කුරුල්ලකු මම හඳුනමි.
බැද්දේ-පිටියේ සිටින හැම ජීවියකු මගේ ය.
12මට කුස ගිනි වූවත්, ඒ වග ඔබට කීමට මට වුවමනා නැත.
මන්ද මුළු ලෝකයත්, ඒ තුළ ඇති සියල්ලත් මගේ ය.
13මම ගවයින්ගේ මස කන්නෙම් ද?
නැතහොත් එළුවන්ගේ ලෙය බොන්නෙම් ද?
14“තුති පිදීමේ පූජා දෙවියන්වහන්සේට ඔප්පු කරන්න;
මහෝත්තමයාණන්ට ඔබේ බාර ඉෂ්ට කරන්න.
15එසේ කර, විපත්ති දවසේ මට හඬ ගසන්න;
මම නුඹ මුදා ගන්නෙමි; නුඹ මට ගෞරව කරනු ඇත.”
16එහෙත් දුෂ්ටයනට දෙවියන්වහන්සේ මෙසේ කියන සේක:
“මගේ නියෝග කටපාඩමෙන් කීමටත්,
මගේ ගිවිසුම ඔබේ තොල් අතරින් ප්‍රකාශ කිරීමටත් ඔබට ඇත්තේ කවර අයිතියක් ද?
17මගේ උපදෙස්වලට ද්වේෂ කළ නුඹ,
මගේ වදන් නුඹේ පසු පස හෙළී ය.
18සොරකු දුටු කල ඔහු හා එකතු වූ නුඹ,
නුඹගේ ඇසුර පරදාර සේවනය කරන්නන්ට පෑවේ ය.
19නුඹේ මුඛය දුෂ්ටකමට යොදා ගත් නුඹ,
නුඹේ දිවෙන් රැවටිල්ල ගෙතුවේ ය.
20නුඹේ සහෝදරයාට විරුද්ධ ව නිරන්තරයෙන් කතා කරන නුඹ,
නුඹේ මවගේ ම කුසින් බිහි වූ සොහොයුරාට අපවාද නගයි.
21නුඹ මේ දෑ කළත්, මම නිහඬ ව සිටියෙමි;
එබැවින් නුඹ සිතුවේ, මා ද නුඹ වගේ කියා ය;
එහෙත් දැන් මම නුඹට තරවටු කරන්නෙමි;
නුඹේ මුහුණට ම චෝදනා කරන්නෙමි.
22“දෙවියන්වහන්සේ අමතක කරන්නෙනි, මේ ගැන සිතා බලනු.
නැතහොත් මම නුඹ කෑලිවලට ඉරන්නෙමි, කිසිවකුටත් නුඹ බේරාගත නො හැක.
23ස්තුති පූජා පුදන්නා මට ගෞරව කරයි;
මගේ මාර්ගයෙහි අවංක ව හැසිරෙන්නාට දෙවියන්වහන්සේගේ ගැලවීම මම පෙන්නුම් කරන්නෙමි.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in