YouVersion Logo
Search Icon

ගීතාවලිය 42

42
දෙවන කාණ්ඩය
ගීතාවලිය 42–72
ගීතාවලිය 42
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුත්‍රයන්ගේ මස්කීල්#42:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1මුවා දිය දොළවලට ආශාවන්නා සේ,
මගේ ජීවය දැඩි සේ ඔබ ගැන ආශා වෙයි, අහෝ දෙවියන්වහන්ස.
2දෙවියන්වහන්සේ වෙත, ජීවමාන දෙවියන්වහන්සේ වෙත, මගේ ජීවාත්මය පිපාසිත වෙයි.
අහෝ මම කවදා දෙවියන්වහන්සේ අබියස පෙනී සිටින්නෙම් ද?
3“කෝ! නුඹේ දෙවියන්වහන්සේ කොහේ දැ?” යි
මිනිසුන් මුළු දවස පුරා මට කියන කල,
කඳුළු පමණි,
දිවා රැයේ මට ආහාර වූයේ.
4මගේ ආත්මය වගුරුවමින් ආවර්ජන කරන කල,
මේ දෑ මට සිහියට නැගේ:
ජය ගොස නගමින්, තුති ගී ගයමින්,
උත්සව පවත්වන නඩයක් මැද්දේ
දෙවියන්වහන්සේගේ ගෘහය වෙත,
පෙරහැරට පෙරටුවෙන් ගිය හැටි!
5එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද?
කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද?
දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න.
මන්ද මම තවමත් ප්‍රශංසා කරමි,
මගේ ගැලවුම්කරු වූ දෙවියන්වහන්සේට.
6අධෛර්යට පත් වෙයි මා තුළ මගේ ආත්මය;
එබැවින් යොර්දාන් ගංගා දේශයේ සිට,
හෙර්මොන් කඳු මුදුනේ සිට, මිසාර් කන්දේ සිට,
මම ඔබ සිහි කරන්නෙමි.
7ඇදහැලෙනා ඔබගේ දිය ඇලිවල ඝෝෂා හඬ මැද,
ගැඹුර, ගැඹුරට හඬ ගසයි;
ඔබගේ රළ හා මහ තරංග
මා වෙළා, වසා ගත්තේ ය.
8දහවලේ ස්වාමින්වහන්සේ නොමියෙන තම ප්‍රේමය පානා සේක;
රැයේ උන්වහන්සේගේ ගීතය මා ගයන්නේ,
මගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක් වශයෙනි.
9මගේ පර්වතයාණන් වන දෙවියන්වහන්සේට මම මෙසේ හඬ ගසමි:
“ඇයි ඔබ මා අමතක කළේ?
සතුරා විසින් පීඩා කරනු ලැබ,
මා ශෝකයෙන් පීඩිත විය යුත්තේ ඇයි?”
10මගේ ඇටකටු බිඳින්නාක් මෙන් නින්දා කරමින්,
මගේ එදිරිවාදීහු,
“කෝ! නුඹේ දෙවියන්වහන්සේ කෝ!” යි
දවස මුළුල්ලේ මට කියති.
11එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද?
කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද?
දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න.
මන්ද මම තවමත් ප්‍රශංසා කරමි,
මගේ ගැලවුම්කරු වූ මගේ දෙවියන්වහන්සේට.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in