YouVersion Logo
Search Icon

ගීතාවලිය 39

39
ගීතාවලිය 39
සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන් වෙත. දාවිත්ගේ ගීතයකි.
1මම මෙසේ කියා ගතිමි: “මම මගේ මාර්ග ගැන පරෙස්සම් වන්නෙමි;
මගේ දිව පව් කිරීමෙන්, වළකා ගන්නෙමි.
අදමිටුවන් මා ඉදිරියේ සිටින තාක්,
කටකලියාවක් දැමුවා සේ කට පියාගන්නෙමි.”
2එහෙත් වචනයකුදු කතා නො කොට,
යහපත ගැන පවා මා නිශ්ශබ්ද ව සිටි කල,
මා තුළ සංවේගය මෝරා වැඩිණ.
3මගේ හදවත මා තුළ ඇවිළෙන්නට විය;
කල්පනා කරත් ම, හද ගිනි දැල්විණ;
එබැවින් මම කතා කරන්නට වන්නෙමි.
4අහෝ ස්වාමින්වහන්ස, මගේ අවසානය හා
මගේ ජීවිතයේ දවස් ගණන කවරේදැයි මා දැනුවත් කළ මැනව.
මගේ දිවි කොතරම් ඉක්මනින් ගෙවී යාදැයි මට දැනගන්නට සැලසුව මැනව.
5මෙන්න! ඔබ මගේ දවස් අල්ප වියතක් බවට පත් කර ඇත.
මගේ ජීවිත කාලය ඔබ ඉදිරියේ කිසිවක් නැතිවා වැන්න.
ඇත්තෙන් ම, සෑම මිනිසා ම
හුස්ම පොදක් වැනි ය. සෙලා
6එහා මෙහා වැනෙන සෙවණැල්ලකි මිනිසා;
ඔහු කඩිමුඩියේ වෙහෙස වන නමුදු එහි කෙළවර අනර්ථය ය.
ඔහු වස්තුව ගොඩ ගසන්නේ, කාට ඒවා හිමි වේ දැයි නො දැන ය.
7එහෙත් දැන්, මා කුමක් බලා සිටින්න ද?
සමිඳුනි, මගේ බලාපොරොත්තුව ඔබ තුළ ය.
8ගැලෙවුව මැනවි මා, මගේ සියලු අයුතුකමින්,
මෝඩයින්ගේ සිනහවක් බවට මා පත් නො කළ මැනව.
9ගොළු වී සිටිමි මම, මගේ මුව වසාගෙන,
මන්ද මට මෙසේ වීමට සලසා ඇත්තේ ඔබ ය.
10ඔබගේ පහර දීම, නවතා දැමුව මැනව;
ඔබගේ හස්ත පහරවලින් මම යටවී සිටිමි.
11මිනිසුන්ගේ පාප නිසා, ඔබ ඔවුනට තරවටු කොට, හික්මවන සේක.
කාවකු කා දමන්නා සේ, ඔබ ඔහුගේ සම්පත් දියවී යන්නට සලසන සේක;
ඇත්තෙන් ම, සෑම මිනිසා ම හුස්ම පොදක් වැනි ය. සෙලා
12අසනු මැන මගේ යැදුම් අහෝ ස්වාමින්වහන්ස,
සවන් දුන මැනවි සරණ පතන මගේ හඬ ගෑමට;
කන් වසා නො ගත මැනවි මගේ වැලපීමට.
මන්ද මම ආගන්තුකයෙක්මි ඔබගේ සෙවණ යට.
මගේ පියවරුන් මෙන් මම ද තාවකාලික පදිංචිකරුවෙක්මි.
13ජීවිතයෙන් සමුගෙන, මා නැති වී යන්නට පෙර, ප්‍රීති වන්නට මට මදකට,
අහක බැලුව මැනවි මවෙතින්.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in