ගීතාවලිය 2:1-12
ගීතාවලිය 2:1-12 SCV
කිමදෝ ජාතීන් උදහස් ව කුමන්ත්‍රණ කරන්නේ? ජනයා නිෂ්ඵල උපා යොදන්නේ? ස්වාමින්වහන්සේට ද උන්වහන්සේගේ අභිෂේක ලද්දාණන්ට ද එරෙහිව, පොළොවේ රජවරු සටනට සැරසෙති; පාලකයෝ එක් පිලකට රොක් වෙති. “ඔවුන්ගේ බැඳුම් අපි කඩා දමමු; විලංගු බිඳ ඔවුන්ගෙන් මිදෙමු” යි ඔවුහු කියති. ස්වර්ගවල සිහසුන දරනා, උතුමාණෝ සිනාසෙන්නාහ; සමිඳාණෝ ඔවුනට පරිහාස කරන්නාහ. තම කෝපයෙන් ඔවුනට තරවටු කරමින්, තම උදහස පා උන් බය ගන්වමින්, මෙසේ පවසන්නාහ. “සියොනෙහි මගේ ශුද්ධ කන්ද මත, මා තේරූ රජු කිරුළු පැලඳුවෙමි.” ස්වාමින්වහන්සේගේ නියෝගය මම ප්‍රකාශයට පත් කරමි: උන්වහන්සේ මා අමතා මෙසේ කී සේක: “ඔබ මගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි; මගෙන් ඉල්ලන්න; එවිට, මම, ජාතීන් ඔබගේ උරුමය කර දෙමි; පොළෝ සීමාන්තය තෙක් ඔබ සන්තක කරලමි. ඔබ, යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු-මට්ටු කරනු ඇත; මැටි බඳුනක් බිඳින්නා සේ ඔවුන් විසුණු කරනු ඇත.” එබැවින් දැන්, එම්බා රජවරුනි, නැණවත් වනු! මිහි පිට පාලකයනි, පරෙස්සම් වනු! ස්වාමින්වහන්සේට භය බැතියෙන් නමදින්න; වෙවුලුම් සහිත ව ප්‍රීති වන්න. උන්වහන්සේ කෝප නො වන පිණිස පුත්‍රයාණන් සිපගන්න. නැතහොත්, ඔබ මාර්ගයේදී වැනසී යනු ඇත. මන්ද, උන්වහන්සේගේ උදහස වහා ඇවිළ යා හැකි බැවිනි. උන්වහන්සේ සරණ කොට ගන්න සැවොම භාග්‍යවත් ය.





