ගීතාවලිය 147:1-12
ගීතාවලිය 147:1-12 SCV
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. අපේ දෙවියන්වහන්සේට පැසසුම් ගී ගැයීම කොතරම් අගනේ ද! මන්ද එය එතරම් ප්‍රිය ජනක ය; පැසසුම් ගීය හොබනේ ය. ස්වාමින්වහන්සේ යෙරුසලම ගොඩ නගන සේක; ඉශ්‍රායෙල් පිටුවහලුන් උන්වහන්සේ එක් රැස් කරන සේක. උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක්; ඔවුන්ගේ තුවාල බඳින සේක. උන්වහන්සේ තාරකාවල ගණන තීරණ කරන සේක්, ඒ සියල්ලට ඒවායේ නාම දෙන සේක. අපේ ස්වාමින්වහන්සේ උත්තම ය, බලයෙන් පරාක්‍රමවත් ය; උන්වහන්සේගේ බුද්ධිය අනන්ත ය. ස්වාමින්වහන්සේ යටහතුන් උසුලා දරන සේක්, දුෂ්ටයින් බිම හෙළා දමන සේක. ස්තුති දෙමින්, ස්වාමින්වහන්සේට ගී ගයන්න; වීණා වයමින්, අපේ දෙවියන්වහන්සේ ඉදිරියේ සංගීතවත් වන්න. උන්වහන්සේ වලාකුළුවලින් අහස වසන සේක්, පොළොවට වැසි වස්සවා, කඳු ගැට මත, තෘණ වැවෙන්නට සලසන සේක. උන්වහන්සේ මෘගයින්ටත්, කෑම ඉල්ලා හඬ ගසන කපුටු පැටවුන්ටත් උන්ගේ අහර සපයා දෙන සේක. උන්වහන්සේගේ ප්‍රසන්නතාව, අශ්වයන්ගේ ශක්තිය තුළ නො වේ; මිනිසකුගේ වේගවත් පාද තුළ උන්වහන්සේට සතුටක් නැත. උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන් තුළ, උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය තුළ බලාපොරොත්තු තබන්නන් තුළ ස්වාමින්වහන්සේට ප්‍රීතිය ඇත්තේ ය. එම්බා යෙරුසලම, ස්වාමින්වහන්සේ වර්ණනා කරනු; එම්බා සියොන, ඔබේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරනු.





