YouVersion Logo
Search Icon

ගීතාවලිය 107:17-42

ගීතාවලිය 107:17-42 SCV

ඇතැම්හු තම කැරලිකාරී මාර්ග නිසා, අඥාන බවට පැමිණියෝ, තම අයුතුකම් හේතු කොට හිංසා-පීඩා වින්දෝ ය. සියලු ආහාර ඔවුනට අප්පිරියා වී, ඔවුහු මරණයේ දොරටුවට ම ළං වූහ. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා, ඔවුන් සුව කළ සේක්, විනාශයෙන් ඔවුන් බේරා ගත් සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! ඔවුහු ස්තුති පූජා යාග කරත්වා! ප්‍රීති ගීතයෙන් උන්වහන්සේ කළ දෑ පවසත්වා! ඇතැම්හු නැව්වලින් මුහුදු ගියහ; ඔවුහු මහ සමුදුරේ වෙළඳ ව්‍යාපාරිකයෝ ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ ක්‍රියා දුටුවෝ ය; සාගර ගැඹුරෙහි උන්වහන්සේගේ අසිරිමත් වැඩ දුටුවෝ ය. මන්ද උන්වහන්සේ අණ කරමින්, චණ්ඩ මාරුතය කැලඹූ කල, රළ රැළි ඉහළ පැන නැංගේ ය. එවිට නැව් ඉහළට අහසට විසි විණ; යළි පහළ ගැඹුරට පහත් විණ; එම උපද්‍රවයෙන් ඔවුන්ගේ ධෛර්යය දියවී ගියේ ය. ඔවුහු බීමත් මිනිසුන් මෙන් වැනි වැනී, ගාට ගාටා ගියෝ, කිසිවක් කර කියාගත නො හැකි තැනට පත් වූවෝ ය. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ චණ්ඩ මාරුතය, නිශ්චල කළ සේක; මුහුදු රළ පෙළ ද නිසල විණ. නිසලතාව ඇති වූ බැවින් ඔවුහු ප්‍රමෝදයට පත් වූහ; ඔවුන්ගේ අභිලාෂය වූ වරායට උන්වහන්සේ ඔවුන්ට මග පෙන් වූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! ඔවුහු ජන එකමුතුවේදී උන්වහන්සේ උසස් කරත්වා! වැඩිහිටි සභා මඬුල්ලේදී උන්වහන්සේට ප්‍රශංසා කරත්වා! උන්වහන්සේ ගංගා, නිරුදක කතරක් බවට පමුණු වන සේක; ජල උල්පත්, වියළි බිමක් බවට පමුණු වන සේක. උන්වහන්සේ සාර භූමිය, ලවණ මුඩු බිමක් කරන සේක; එසේ කරන්නේ, එහි විසූ ජනයාගේ දුෂ්ටකම් නිසා ය. නිරුදක කතර, දිය පොකුණු බවට හරවන සේක්; වියළි භූමිය, ජල උල්පත් තෝතැන්නක් බවට හරවන සේක. උන්වහන්සේ සාගිනි වූවන් එහි වාසයට කැඳවාගෙන එන සේක; ඔවුහු පදිංචියට එහි නුවරක් පිහිටුවා ගනිති. ඔවුහු කුඹුරු වපුරන්නෝ ය; මිදි වතු වවන්නෝ ය; සරු සාර අස්වැන්නක් නෙළාගන්නෝ ය. උන්වහන්සේ ඔවුනට ආශිර්වාද කරන සේක; ඔවුහු ගණනින් වැඩි වර්ධන වන්නාහ; ඔවුන්ගේ සත්ව සම්පත ද අඩු වන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක. මෙයින් පසු, පීඩනය ද විපත්තිය හා දුක් කරදර ද හේතුවෙන්, ගණනින් හීන වන්නට වන් ඔවුහු යටත් කරනු ද ලැබූහ. අධිපතීන් පිට අවඥාව වැගුරූ උන්වහන්සේ, ඔවුන් මග තොට නො දැන, මංමුළා ව යන්නට සැලසූ සේක. එහෙත් දුගීන් ඔවුන්ගේ දුක් හිරිහැරවලින් මුදා ලූ උන්වහන්සේ, ඔවුන්ගේ පවුල් බැටළු රංචු මෙන් බොහෝ වන්නට සැලසූ සේක. ධාර්මිකයෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නාහ; එහෙත් දුෂ්ට සියල්ලෝ කට පියා ගනිති.