YouVersion Logo
Search Icon

හිතෝපදේශ 8

8
ප්‍රඥාව කතා කරයි
1ප්‍රඥාව උස් හඬින් අමතන්නේ නැති ද?
අවබෝධය ඇගේ උස් හඬ නගන්නේ නැති ද?
2මාර්ගය ඔස්සේ මාවත් එකට හමුවන තැන,
උස් තැනක ඈ පිහිටා සිටගනී.
3පුරවරයට යන පුර දොරටු පසෙක සිට,
පුරවර පිවිසුමේ සිට ඈ හඬ නගා මෙසේ කියන්නී ය:
4“මා මේ හඬ ගසන්නේ නුඹලාට ය එම්බා මිනිසුනි,
සමස්ත මිනිස් වර්ගයාට ම ඇසෙන්නට මම හඬ නගා පවසන්නෙමි.
5අනුවණයිනි, සිහි නුවණ ලබා ගන්න;
අඥානයිනි, බුද්ධිය ලබා ගන්න.
6සවන් දෙන්න, අගනා දෑ කියන්නට මට තියේ;
හරි දේ කියන්නට මගේ දෙතොල් විවර කරමි.
7මගේ මුවින් පැවසෙන්නේ සත්‍යය ය;
මන්ද මගේ දෙතොලට දුෂ්ටකම පිළිකුලක් ය.
8මා මුවේ හැම වචනයක් ම ධාර්මික ය;
හොර බොරු වංචා කිසිවක් ඒවායේ නැත.
9නැණවතුනට ඍජු ව ම ඒ හැම පැහැදිලි ය;
දැනුම ඇත්තනට ඒවා දෝෂ රහිත ය.
10රිදී වෙනුවට මගේ උපදෙස් තෝරා ගන්න;
අනගි රන්වලට වඩා දැනුම තෝරා ගන්න.
11මන්ද ප්‍රඥාව රතුකැටවලට වඩා ඉතා වටනේ ය;
ඔබ ආශා වන කිසිවක් ඊට සම කළ නො හැක.
12“ප්‍රඥාව වන මම සිහි නුවණ සමඟ වාසය කරමි;
අවබෝධය හා විචක්ෂණ බුද්ධිය මා සතු ය.
13නපුරට වෛරවීම, ස්වාමින්වහන්සේට භයවීම ය.
උඩඟුවටත්, අහංකාරයටත්,
නපුරු හැසිරීමටත්, දුෂ්ට කතාවටත් මම ද්වේෂ කරමි.
14ගුරු උපදෙස් හා හරි දැක්ම මා සතු ය;
අවබෝධය හා බලය ද මට ඇත.
15රජවරු මා මගින් රජකම් කරති;
පාලකයෝ මා මගින් යුක්ති සහගත නීති පනවති.
16අධිපතීන් ආණ්ඩුකරන්නේත්,
පොළොව මුළුල්ලේ බලධරයින් රට පාලනය කරන්නේත් මා මගිනි.
17මට ප්‍රේම වන්නන්ට මමත් ප්‍රේම කරන්නෙමි.
මා සොයන්නවුන්ට මම සම්භ වන්නෙමි.
18ධනය ද ගෞරවය ද
පවතින සම්පත් හා සෞභාග්‍ය ද මා වෙත ඇත.
19මගේ පලදාව අමිශ්‍ර රන්වලට වඩා හොඳ ය;
මගේ ලාභය පිරිසිදු රිදීවලට වඩා ඉහළ ය.
20මම ධර්මිෂ්ඨ මාර්ගයේ,
යුක්තියේ මාවත් දිගේ ගමන් කරන්නේ,
21මට ප්‍රේම කරන්නන්ට වස්තුව උරුම කර දෙමින්,
ඔවුන්ගේ ගබඩා පිරෙන්නට සලසමිනි.
22ස්වාමින්වහන්සේ ස්වකීය පුරාතන වැඩ කටයුතුවලට කලින්,
ස්වකීය මුල් කටයුත්ත වශයෙන්, මා බිහි කළ සේක#8:22 බිහි කළ සේක එනම් හිමි කර ගත් සේක..
23සදාතනයේ සිට, පටන් ගැන්මේ සිට,
ලෝකය පටන් ගන්නටත් පෙර සිට මා නිම වන ලදී.
24මා උපදින කල මහ සාගර තිබුණේ නැත,
ජල බහුල දිය උල්පත් තිබුණේ නැත,
25මා ඉපිද සිටියේ කඳු ස්ථානගත කරන්නට පෙර සිට ය,
හෙල් පිහිටුවන්නට පෙර සිට ය,
26උන්වහන්සේ මහ පොළොව ද ගොඩ බිම් ද
එහි පළමු වැලි ධූලි ද මැවීමට පෙර සිට ය.
27උන්වහන්සේ අහස ස්ථානගත කරන කල,
උන්වහන්සේ ගැඹුර මතු පිට ක්ෂිතිජය සලකුණු කරන කල මම එහි සිටියෙමි.
28උන්වහන්සේ ඉහළ අහසේ වලාකුළු පිහිටු වන කල,
ගැඹුරේ ජල උල්පත් සවි කරන කල,
29මුහුදු ජලය උන්වහන්සේගේ අණ ඉක්මවා ගලා නො යන ලෙස
උන්වහන්සේ මුහුදේ මායිම නියම කරන කල,
උන්වහන්සේ පොළොවේ අත්තිවාරම් ලකුණු කරන කල මම එහි සිටියෙමි.
30එකල මම උන්වහන්සේ ළඟ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ව සිටියෙමි,
උන්වහන්සේ ඉදිරියෙහි මා නිති සතුටින්
දිනෙන් දින සොම්නසින් පුරවනු ලබමින් සිටියේ,
31මුළු ලොව ම සොම්නසට හරවමින්,
මිනිස් වර්ගයා සතුටට පත් කරමිනි.
32“එබැවින් මා පුත්‍රයිනි, මට සවන් දෙන්න;
මගේ මාර්ග රක්ෂා කරන්නෝ භාග්‍යවන්තයෝ ය.
33මගේ උපදෙස් අසා, ප්‍රඥාවත් වන්න;
ඒවා නො සලකා නො හරින්න.
34මගේ දොරකඩ නැවතී හිඳිමින්,
මගේ දොරටු ළඟ බලා හිඳිමින්,
මට සවන් යොමන මිනිසා භාග්‍යවත් ය.
35මන්ද මා සොයා ගන්නා කවරෙක් වුව, ජීවනය සොයා ගනී;
හෙතෙම ස්වාමින්වහන්සේගෙන් ප්‍රසාදය ද ලබයි.
36එහෙත් මා සොයා ගන්නට අපොහොසත් වූ කවරෙක් වුව,
තමාට ම හානිකර ගනී; මට වෛර වන සැවොම මරණයට ප්‍රේම වෙති.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in