YouVersion Logo
Search Icon

හිතෝපදේශ 7:6-23

හිතෝපදේශ 7:6-23 SCV

මගේ ගෙදර ජනේලයේ ගරාදි අතරින් මම පිටත බැලුවෙමි. අනුවණ ජනයා අතරෙහි මම බැලුවෙමි; අවබෝධයෙන් තොර තරුණයකු යෞවනයින් අතර මම දුටුවෙමි. ඔහු වීදිය ඔස්සේ ඇගේ ලැගුම්පල අසලින් ඇගේ නිවස දෙසට යමින් සිටියේ ය. ඒ දවස ගෙවීගෙන යන සවස් ගොම්මනේ ය; රැයේ අඳුර වට කොට ගන්නා වෙලාවේ ය. එවිට මෙන්න ගැහැණියක්, ඔහු හමුවට ආවා ය; වංචනික අරමුණින් යුතු වූ ඈ සැරසී සිටියේ වෙසඟනකගේ ඇඳුමිනි. කටකාර, තද මුරණ්ඩු තැනැත්තියක වූ ඈ, කිසිවිටකත් ගෙදර නො රඳන්නී ය. විටෙක ඈ වීදියට යන්නී ය, විටෙක කඩ මණ්ඩියට පිය නගන්නී ය; හැම මුල්ලක ම රැක සිට ඉව අල්ලන්නී ය. ඈ ඔහු අල්ලා ඔහු සිපගෙන, විලි ලජ්ජා නැති මුහුණින් මෙසේ කීවා ය: “මා අද පූජා කළ ශාන්ති පූජාවේ මස ගෙදර තියේ; අද මා මගේ බාර-හාර ඔප්පු කළා. ඔබ හමුවන්නයි මා ගෙයින් පිටතට ආවේ; ඔබ සොයාගෙනයි මා මේ ආවේ, මෙන්න දැන් මට ඔබ හමුවෙලා! ඊජිප්තුවේ හණ නූලෙන් කළ වෛවර්ණ ඇතිරිලි මගේ යහනේ එළා තියේ. සුවඳලාටු, අගිල් හා කුරුඳුවලින් මගේ යහන මා සුවඳ ගැල්වූවා. එන්න, එළිවන තුරා අපි ආලයේ මධුවිත බොමු; අපි ආදර මිහිර විඳිමු. මගේ සැමියා ගෙදර නැත; එයා දුර ගමනක් ගිහින්. ලොකු මුදලක් අතේ ඇති ව ගිය නිසා ඔහු එන්නේ පුන් පෝයටත් පස්සේ” යි කීවා ය. ඈ තම ඉච්චා බසින් ඔහු වසඟ කර ගත්තා ය; තම මුදු තෙපුලින් ඔහු නොමගට හරවා ගත්තා ය. එකෙණෙහි ම ඔහු ඈ පසු පස ඇදුනේ, මස් කඩයට ගෙන යන හරකකු පරිද්දෙනි; ඇටවූ තොණ්ඩුවකට පා තබන මුවකු පරිද්දෙනි. හීයක් තම අක්මාව සිදුරු කරන තුරු ඌ ඒ වග නො දත්තේ ය. තම ජීවිතය ම අවදානමේ බව නො දැන මළපුඩුවකට වේගයෙන් ඇදී යන කුරුල්ලකු පරිද්දෙනි.