YouVersion Logo
Search Icon

හිතෝපදේශ 3

3
ප්‍රඥාව යහපත් සුවතාව ගෙන දේ
1මා පුත, මගේ ඉගැන්වීම් අමතක නො කරන්න;
මගේ ආඥා ඔබේ හදේ රඳවා තබා ගන්න.
2මන්ද ඒවා ඔබේ ජීවිතයේ දවස් හා අවුරුදු කාල ප්‍රමාණය ද
ඔබට සාමය හා සමෘද්ධිය ද වැඩි කර දෙන්නේ ය.
3දයා-ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් ඔබගෙන් ඈත් ව නො යේවා!
ඒවා ඔබ ගෙල බැඳ ගන්න;
හදවත් පුවරුවේ ලියා තබා ගන්න.
4එවිට, දෙවියන්වහන්සේ ඉදිරියේ මෙන් ම මිනිසුන් ඉදිරියේදී,
ප්‍රසාදයත්, හොඳ නමත් ඔබ දිනාගනු ඇත.
5ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට,
ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න.
6ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න;
එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත.
7ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න;
ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න.
8එයින් ඔබේ සිරුරට සුවය ගෙනේ;
ඔබේ ඇටකටුවලට පෝෂණය ලැබේ.
9ඔබේ සියලු අස්වනුවල නාඹුල් පල සමඟ
ඔබේ ධන සම්පතින් ස්වාමින්වහන්සේට ගෞරව කරන්න.
10එවිට ඔබේ අටු-කොටු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී යන්නේ ය;
අලුත් මිදි යුෂවලින් ඔබේ මිදි යුෂ පීප්ප උතුරා-ගලා යන්නේ ය.
11මා පුත, ස්වාමින්වහන්සේගේ උපදෙස සුළු කොට නො තකන්න;
උන්වහන්සේගේ තරවටුවට උරණ නො වන්න.
12පියකු තමන්ට ප්‍රිය පුතු හික්මවන්නා සේ,
ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක.
13ප්‍රඥාව සොයන මිනිසා,
අවබෝධය අත්කර ගන්න මිනිසා, භාග්‍යවත් ය.
14මන්ද එය රිදීවලට වඩා පලදායි ය;
රත්රන්වලට වඩා වැඩි සම්පත් උපදවා දෙන්නේ ය.
15ප්‍රඥාව රතුකැට මැණිකට වඩා අගනේ ය;
ඔබ ආශා කරන කිසිවකටවත් එය සම කළ නො හේ.
16ඇගේ දකුණත ඇත්තේ, දීර්ඝායුෂ ය;
වමතෙහි ඇත්තේ, ධන සම්පත් හා ගෞරවය ය.
17ඇගේ සියලු මාර්ග ප්‍රිය ජනක ය;
ඇගේ මාවත් සියල්ල සාමය ය.
18ප්‍රඥාව තමා වැලඳගන්නාට ජීවන වෘක්ෂයකි;
ඇය තරකොට අල්ලා ගන්නා ආශිර්වාද ලබන්නේ ය.
19 ස්වාමින්වහන්සේ පොළෝ අත්තිවාරම් ලූයේ ප්‍රඥාව මගිනි;
උන්වහන්සේ අහස ස්ථානගත කළේ අවබෝධය මගිනි.
20ගැඹුරේ උල්පත් විවර කෙරුණේත්,
වලාකුළුවලින් පිණිබිඳු වෑස්සෙන්නේත් උන්වහන්සේගේ දැනුම මගිනි.
21මා පුත, පිරිපුන් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත් ආරක්ෂා කර ගන්න;
ඔබට පෙනෙන තෙක් මානයෙන් බැහැරවීමට ඒවාට ඉඩ නො දෙන්න.
22ඒවා ඔබේ ජීවයට ජීවනය වන්නේ ය;
ඔබේ ගෙලට අලංකාර පළඳනාවක් වන්නේ ය.
23එවිට ඔබ නිරුපද්‍රිත ව ඔබේ ගමන යනු ඇත;
ඔබේ පාද බාධා නොතකනු ඇත.
24හාන්සි වී සිටින කල, ඔබට භයක් නො දැනෙනු ඇත;
ඔබ වැතිර ගන්නා කල නින්ද ඔබට මිහිරක් වනු ඇත.
25හදිසියේ පැමිණෙන භීතියක් ගැන හෝ
දුෂ්ටයන් පිට පැමිණෙන විපත්තිය ගැන හෝ ඔබට භයක් ඇති නො වනු ඇත.
26මන්ද ස්වාමින්වහන්සේ ඔබේ විශ්වාසිකයාණන් වන සේක්,
ඔබේ පාද උගුලක හසුවන්නට ඉඩ නො දෙන සේක.
27කරන්නට බලය ඔබ අත තිබියදී,
උපකාර ලැබිය යුත්තාට සෙත සැලසීමෙන් නො වළකින්න.
28දැන් ම දීමේ හැකියාව තිබියදී,
“යන්න; පසුව එන්න; හෙට මම එය ඔබට දෙන්නෙමි” යි
ඔබේ අසල්වැසියාට නො කියන්න.
29ඔබ ගැන විශ්වාසය තබා,
ඔබ අවට වෙසෙන අසල්වැසියාට නපුරක් සැලසුම් නො කරන්න.
30ඔබට අනදරයක් නො කර තිබියදීත්,
අහේතුක ව යම් කෙනකුට වරද නො තබන්න.
31සැහැසි මිනිසකු සමඟ ඊර්ෂ්‍යා සහගත නො වන්න;
ඔහුගේ මාර්ග එකකුදු තෝරා නො ගන්න.
32මන්ද, හිතුවක්කාර මිනිසා ස්වාමින්වහන්සේට පිළිකුලක් ය;
එහෙත්, උන්වහන්සේගේ මිත්‍රකම ඍජු ගති ඇත්තා සමඟ ය.
33 ස්වාමින්වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ නිවස පිට ය;
එහෙත්, ධාර්මිකයාගේ ගෙදරට උන්වහන්සේ ආශිර්වාද කරන සේක.
34උඩඟු අවමන්කරන්නන් උන්වහන්සේ අවමානයට පමුණු වන සේක;
එහෙත්, යටහතුනට උන්වහන්සේ කරුණාව දක්වන සේක.
35ප්‍රඥාවත්හු ගෞරවය උරුම කර ගනිති;
එහෙත් අඥානයෝ ලජ්ජාවට පමුණුවනු ලබති.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in