හිතෝපදේශ 27:9-17
හිතෝපදේශ 27:9-17 SCV
සුවඳ විලවුන් හා සුවඳ දුම් හදවතට ප්‍රීතියකි; මිතුරකුගේ ප්‍රිය මනාපය ඉස්මතු වන්නේ ළබැඳි උපදෙසින් ය. ඔබේ මිතුරා ද ඔබේ පියාගේ මිතුරා ද අත් නාරින්න; ඔබේ විපත්තියේදී ඔබේ සහෝදරයාගේ නිවසට නො යන්න. දුර ඈත සිටින සහෝදරයකුට වඩා ළඟ සිටින අසල්වැසියා අගේ ය. මා පුත, ප්‍රඥාවත් ව මගේ හදවත ප්‍රීතිමත් කරන්න; එවිට අවඥාවෙන් මට සලකන අයට නිසි පිළිතුරු දෙන්නට මට පුළුවන. නුවණක්කාරයා අනතුර දැක, රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා, දුක් කරදර විඳවයි. නො දන්නා කෙනකුට ඇපවන්නකුගේ සළුව ගන්න; වෙසඟනක් සඳහා ඔහු එය කරන්නේ නම්, එය ඇපයක් වශයෙන් තබා ගන්න. යමෙක් අරුණ උදයෙන් නැගිට මහ හඬ නගා තම අසල්වැසියාට ආශිර්වාද කරන්නේ නම්, එය ඔහුට ශාපයක් කොට ගණන් ගැනේ. දබරයට බර බිරිඳ, වැසි දවසක නො නැවතී හැලෙන පොද වැස්ස වැන්න. ඇය මැඩපැවැත්විය හැකි නම්, සුළඟ ද මැඩපැවැත්විය හැකි ය; තෙල් අහුරක් අතින් ගත හැකි ය. යකඩින් යකඩ මුවහත් වන සේ, මිනිසෙක් තවත් මිනිසකු මුවහත් කරයි.





