හිතෝපදේශ 27:1-14
හිතෝපදේශ 27:1-14 SCV
හෙට ගැන පාරට්ටු කර නො ගන්න; මන්ද දවසක් ඇතුළත කුමක් වේ දැයි ඔබ දන්නේ නැති බැවිනි. වෙන කෙනෙක් ඔබ පැසසුවාදෙන්, ඔබේ මුවින් ඔබ ම පසසා නො ගන්න; ඔබේ ම තොල්වලින් නො ව, අන් කෙනෙක් ඔබ පැසසුවා වේ. ගල් බර ය, වැලිත් බර ය; එහෙත් අඥානයකුගේ කුපිත කරවීම ඒ දෙකට ම වඩා බර ය. කෝපය කුරිරු ය, උදහස රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉදිරියේ සිටගත හැක්කේ කවරකුට ද? නො පෙන්වන ප්‍රේමයට වඩා, විවෘත ව කෙරෙන තරවටුව හොඳ ය. මිතුරකුගේ රිද්දවීම විශ්වාස කටයුතු ය; එහෙත් සතුරකුගේ සිඹීම්වල තොරක් නැත. කෑමෙන් තෘප්තිමත් වූ අයට මී-පැණිත් අප්‍රිය ය; එහෙත් සා-ගින්දර ඇති අයට තිත්ත අහර ද මිහිරි ය. තම ගෙදර හැර යන මිනිසා, තම කැදැල්ල හැර යන කුරුල්ලකුට සමාන ය. සුවඳ විලවුන් හා සුවඳ දුම් හදවතට ප්‍රීතියකි; මිතුරකුගේ ප්‍රිය මනාපය ඉස්මතු වන්නේ ළබැඳි උපදෙසින් ය. ඔබේ මිතුරා ද ඔබේ පියාගේ මිතුරා ද අත් නාරින්න; ඔබේ විපත්තියේදී ඔබේ සහෝදරයාගේ නිවසට නො යන්න. දුර ඈත සිටින සහෝදරයකුට වඩා ළඟ සිටින අසල්වැසියා අගේ ය. මා පුත, ප්‍රඥාවත් ව මගේ හදවත ප්‍රීතිමත් කරන්න; එවිට අවඥාවෙන් මට සලකන අයට නිසි පිළිතුරු දෙන්නට මට පුළුවන. නුවණක්කාරයා අනතුර දැක, රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා, දුක් කරදර විඳවයි. නො දන්නා කෙනකුට ඇපවන්නකුගේ සළුව ගන්න; වෙසඟනක් සඳහා ඔහු එය කරන්නේ නම්, එය ඇපයක් වශයෙන් තබා ගන්න. යමෙක් අරුණ උදයෙන් නැගිට මහ හඬ නගා තම අසල්වැසියාට ආශිර්වාද කරන්නේ නම්, එය ඔහුට ශාපයක් කොට ගණන් ගැනේ.





