YouVersion Logo
Search Icon

හිතෝපදේශ 23

23
උපදේශ 7
1පාලකයකු සමඟ ඔබ කෑමට හිඳගන්න කල,
ඔබ ඉදිරියේ තබා ඇති දෑ ගැන කල්පනාකාරී වන්න.
2ඔබ කෑදරයකු වේ නම්,
ඔබේ උගුරට පිහියක් තබා ගන්න.
3ඔහුගේ රසමසවුලට ආශා නො වන්න;
මන්ද ඒවා රැවටිලිකාර ආහාර වේ.
උපදේශ 8
4ධනවත් වන පිණිස දැඩි සේ නො වෙහෙසෙන්න;
එයින් වළකින්නට අවබෝධය ඇතුව සිටින්න.
5ධනය දෙස බැල්මක් හෙළන්න; එය නො පෙනී ගොසිනි;
මන්ද එහි පියාපත් පැන නැගී,
රාජාලියකු මෙන් එය අහසට පියඹා යනු ඇත.
උපදේශ 9
6මසුරු මිනිසකුගේ අහර අනුභව නො කරන්න;
ඔහුගේ රසමසවුලට ආශා නො වන්න.
7මන්ද හැම විට ඔහු සිතන්නේ
ඒවායේ වියදම ගැන ය.
“අරගෙන කන්න, බොන්නැ” යි ඔහු කියයි;
එහෙත් ඔහුගේ සිතේ අදහස වෙනකක් ය.
8ඔබ කෑ ස්වල්පය ඔබ වමාරනු ඇත;
ඔබගේ ප්‍රශංසනීය වචන ද අපතේ ය.
උපදේශ 10
9අඥානයකු හා කතාවට නො යන්න;
මන්ද ඔබගේ නැණවත් වචන නො වැටහී ඔහු ඔබට අවඥා කරනු ඇත.
උපදේශ 11
10ඉපැරණි මායිම් ගල් වෙනස් නො කරන්න;
පියා අහිමි අනාථයින්ගේ ඉඩම් අල්ලා නො ගන්න.
11මන්ද ඔවුන්ගේ මිදුම්කරුවාණෝ බලවත් ය;
එතුමන් ඔබට එරෙහිව ඔවුන් උදෙසා පෙනී සිටිනු ඇත.
උපදේශ 12
12ගුරු උපදෙසට ඔබේ හදවත යොමු කරන්න;
දැනුම ගෙනෙන වදන්වලට ඔබේ සවන් යොමන්න.
උපදේශ 13
13දරුවකු හික්මවීමෙන් නො වළකින්න;
ඔබ ඔහුට වේවැල් පහර දුන්නොත් ඔහු මැරෙන්නේ නැත.
14ඔහුට වේවැල් පහර දෙන්න;
එමඟින් ඔබ මිනී වළෙන් ඔහු බේරාගන්නෙහි ය.
උපදේශ 14
15මා පුත, ඔබගේ හදවත ප්‍රඥාවත් නම්,
මගේ හදවත ප්‍රීතිමත් වේ.
16ඔබගේ තොල් අතරින් හරි දේ පවසන කල,
සිත් ඇතුළාන්තයෙන් මම ප්‍රීති ප්‍රමෝදවත් වෙමි.
උපදේශ 15
17පව්කරුවනට ඊර්ෂ්‍යා කිරීමට ඔබේ හදට ඉඩ නො තබන්න;
හැම විට ස්වාමින්වහන්සේට භය වීමෙහි උද්යෝග වන්න.
18එවිට සැබවින් ම ඔබට අනාගත බලාපොරොත්තුවක් ඇත;
ඔබගේ ඒ බලාපොරොත්තුව සිඳ නො දැමේ.
උපදේශ 16
19අහන්න මා පුත, අසා ප්‍රඥාවත් වන්න;
ඔබගේ හදවත හරි මාර්ගයේ පවත්වාගෙන යන්න.
20මත්-පැනට ලොල්වූවන් හෝ
මස් කෑමට ගිජුවූවන් සමඟ එක් නො වන්න.
21මන්ද, බේබද්දෝ හා බඩජහරියෝ හිඟමනට වැටෙන්නෝ ය;
නිදිමත ගතිය විසින් ඔවුන්ට වැරහැලි හඳවනු ලැබේ.
උපදේශ 17
22ඔබට ජීවය දුන් ඔබේ පියාට ඇහුම්කන් දෙන්න;
ඔබේ මව මහලු වූ කල ඇය සුළු කොට නො තකන්න.
23සත්‍යය මිලයට ගන්න; එය නො විකුණන්න;
ප්‍රඥාව ද උපදෙස ද අවබෝධය ද ලබා ගන්න.
24දමිටු මිනිසකුගේ පියාට මහා ප්‍රීතියක් ඇත;
ප්‍රඥාවත් පුතකු ඇති තැනැත්තා ඔහු ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි.
25ඔබගේ පියා හා මව සතුටට පත් වුණා වේ!
ඔබ බිහි කළ මව ප්‍රීති වෙත්වා!
උපදේශ 18
26මා පුත, ඔබේ හදවත මට දෙන්න;
ඔබගේ ඇස් මගේ මාර්ග මත පිහිටා තිබේවා!
27වෙසඟනක යනු ගැඹුරු වළකි;
සලෙලු ලිය පටු ළිඳකි.
28සොරකු මෙන් සැඟවී, මග රැක සිටින ඈ
පිරිමින් අතර අවිශ්වාසවන්තවන්නන් වැඩි කරන්නී ය.
උපදේශ 19
29දුක ඇත්තා කවුරුන් ද? කනස්සල්ල ඇත්තා කවුරුන් ද?
ආරවුල් ඇත්තා කවුරුන් ද? මැසිවිලි ඇත්තා කවුරුන් ද?
අනවශ්‍ය තැළුම් ඇත්තා කවුරුන් ද? රතු වූ ඇස් ඇත්තා කවුරුන් ද?
30මුද්‍රික පානය ළඟ කල්මරන තැනැත්තන් ය;
මිශ්‍ර කළ මුද්‍රික පානය සොයා යන්නවුන් ය.
31මද්‍යසාරය රත් පැහැයෙන් පෙනෙන විට, වීදුරුවෙහි ඒවා දිදුලන විට,
ප්‍රිය උපදමින්, වැක්කෙරෙන විට,
ඒ දෙස බලා නො සිටින්න.
32අන්තිමේදී එය සර්පයකු සේ හපා කයි;
පොළඟකු මෙන් විසකුරු වෙයි.
33ඔබේ ඇස්වලට අමුතු දසුන් පෙනෙන්නට වෙයි;
ඔබගේ මනස පඹගාලක පැටලෙයි.
34ඔබ, මහ මුහුද මැද කුඹ ගසක් මුදුනේ
නිදාගන්නට හදන කෙනකු මෙන් වෙයි.
35එවිට ඔබ මෙසේ කියනු ඇත: “උන් මට ගැහුවා, ඒත් මට රිදුනේ නෑ,
උන් මට පහර දුන්නා, මට දැනුනේවත් නෑ;
මට ඇහැ ඇරුණාම
තව වඩියක් බොන්නට පුළුවනි.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in