හිතෝපදේශ 2:1-15
හිතෝපදේශ 2:1-15 SCV
මා පුත, ඔබ මගේ වචන පිළිගෙන, මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්නේ නම්, ප්‍රඥාවට ඔබේ සවන් යොමා, අවබෝධයට ඔබේ හද විවර කරන්නේ නම්, ඇත්තෙන් ම ඔබ අවබෝධයට හඬ ගසා, බුද්ධියට ඔබේ කටහඬ අවදිකරන්නේ නම්, ඔබ රිදී සොයන්නාක් මෙන් එය සොයමින්, සැඟවුණු වස්තුවක් සොයන්නාක් මෙන් වෙහෙසෙන්නේ නම්, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම කුමක් දැයි ඔබ වටහා ගනු ඇත; දෙවියන්වහන්සේ දැනගැනීම ඔබ අත්කර ගනු ඇත. මන්ද ප්‍රඥාව දෙන්නේ ස්වාමින්වහන්සේ ය; දැනගැන්ම හා අවබෝධය පැමිණෙන්නේ, උන්වහන්සේගේ මුවෙනි. අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක; නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ, යුක්තියේ මාවත් රැකවල් කරමිනි; ස්වකීය විශ්වාසිකයින්ගේ මාර්ගය සුරකිමිනි. එවිට ඔබ දමිටුකම හා යුක්තිය ද සාධාරණත්වය ද හැම යහ මාවතක් ද වටහා ගනු ඇත. මන්ද ප්‍රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත, දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත. විචක්ෂණ බුද්ධිය ඔබ බලා ගනු ඇත; අවබෝධය ඔබ රැකවල් කරනු ඇත. දුෂ්ට මාර්ගයෙන්, අගතිගාමී ව කතා කරන මිනිසුන්ගෙන් ප්‍රඥාව ඔබ ගලවා ගනී. අන්ධකාර මාර්ගවල ගමන් කරන පිණිස, ඔවුහු සෘජු මාවත්වලින් බැහැර වූවෝ ය. වැරදි කිරීමෙන් ප්‍රමෝදවත් වන ඔවුහු දුෂ්ටකමේ අගතියෙහි ප්‍රීති වන්නෝ ය. ඔවුන්ගේ මාවත් ඇද ය; ඔවුන්ගේ ක්‍රියා මාර්ග ද වංක ය.





