හිතෝපදේශ 14:1-35
හිතෝපදේශ 14:1-35 SCV
ප්‍රඥාවත් කාන්තාව තම පවුල ගොඩ නගන්නී ය; එහෙත් මෝඩ තැනැත්තී තම අත්වලින් ම එය බිඳගන්නී ය. සෘජු ගති පිළිපදින්නා ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ය; එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ හෙළා දකී. අඥානයාගේ කතාවේ උඩඟුකමේ වේවැල් පහර ඇත්තේ ය; එහෙත් ප්‍රඥාවතුන්ගේ තොල් ඔවුන් මුදා ගනී. ගවයින් නොමැති ගව ගාල පවිත්‍ර ය; එහෙත් සරු අස්වැන්නක් එන්නේ, ගවයාගේ ශක්තියෙනි. සත්‍යවාදී සාක්ෂිකරු වංචා නො කරයි; එහෙත් ව්‍යාජ සාක්ෂිකරු බොරු වගුරයි. ගරහන්නා ප්‍රඥාව සොයන නමුදු, කිසිවක් සොයා නො ගනී; එහෙත් අවබෝධය පහසුවෙන් ම බුද්ධිමතුන් වෙත පැමිණේ. අඥානයා වෙතින් ඈත් ව සිටින්න; මන්ද ඔහුගේ තොල් අතරින් දැනුම හමු නො වේ. නුවණ ඇත්තන්ගේ ප්‍රඥාව තම මාර්ගය වටහා ගැනීම ය; එහෙත් අඥානයින්ගේ මෝඩකම රැවටිල්ල ය. පාප කමාවේ පූජාවට අඥානයා සමච්චල් කරයි; එහෙත් ඍජු ගති ඇත්තන් අතර පිළිගැනීම ඇත. තමාගේ සන්තාපය දන්නේ ඒ ඒ අයගේ හදවත ය; හදවතක ප්‍රීතිය තව කෙනකුට විඳිය නො හැකි ය. දුෂ්ටයින්ගේ ගෙය විනාශ කර දමනු ලැබේ; එහෙත් ඍජු ගති ඇත්තන්ගේ කූඩාරම සමෘද්ධ වේ. මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි. සිනාසීමේදී පවා හදේ වේදනා තිබිය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක. හදින් පසුබටවන්නා මුළුමනින් ම ඔහුට සුදුසු ප්‍රතිවිපාක ලබයි; සත්-පුරුෂයා ද ඔහුට සුදුසු ඉටු විපාක ලබයි. අනුවණයා හැම දේ ම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමතා තමා ගන්නා හැම පියවරක් ම සැලකිල්ලට ගනියි. ප්‍රඥාවත් මිනිසා දේව භයින් යුතු ව නපුරෙන් වැළකී සිටී; එහෙත් අඥානයා කලබලකාරී ව නො සැලකිලිමත් වෙයි. වහා කිපෙන මිනිසා මෝඩ වැඩ කරයි; කපටි මිනිසාට අන් අය වෛර කරති. අනුවණයින්ගේ උරුමය මෝඩකම ය; එහෙත් බුද්ධිමතා දැනුමේ කිරුළ ලබයි. දුෂ්ටයෝ යහපතුන් ඉදිරියේ වැඳ වැටෙති; අධර්මිෂ්ඨයෝ ධර්මිෂ්ඨයින්ගේ දොරටු අබියස වැඳ වැටෙති. තම අසල්වැසියන් අතින් පවා දුප්පතා ඈත් කෙරේ; එහෙත් ධනවතාට බොහෝ මිතුරන් ඇත. තම අසල්වැසියා හෙළා දකින්නා පව් කරයි; එහෙත් නැති බැරි අයට උපකාර කරන්නා භාග්‍යවන්තයෙකි. නපුරු උපා යොදන්නෝ මංමුළා නො වෙත් ද? එහෙත් සෙත සැලසුම් කරන්නෝ, ප්‍රේමයත්, විශ්වාසවන්ත භාවයත් හිමි කර ගනිති. වෙහෙසී වැඩ කිරීම් සියල්ලෙන් ලාභ ලැබේ; එහෙත් නිෂ්ඵල කතාව දුගී භාවයට මං පාදයි. ප්‍රඥාවතුන්ගේ ධන සම්පත් ඔවුන්ගේ ඔටුන්න ය; එහෙත් අඥානයින්ගේ මෝඩකමින් උපදින්නේ මෝඩකම පමණි. සත්‍යවාදී සාක්ෂිකරු ජීවිත ගලවයි; එහෙත් බොරු සාක්ෂිකරු රැවටිලිකාර ය. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත අයට සුරක්ෂිත බළකොටුවක් ඇත; ඔවුන්ගේ දරුවන්ට එය රක්ෂස්ථානයකි. ස්වාමින්වහන්සේට භයවීම ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් එය කෙනකු ඉවත හරවයි. අධික ජනගහනය රජකුගේ තේජස වෙයි; එහෙත් ජනගහනය නැති අධිපතියා ගරාවැටෙයි. ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත; එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි. ශාන්ත වූ හදවත ගතට ජීවනය ගෙන දේ; එහෙත් ඊර්ෂ්‍යාව ඇටකටු දිරාපත් කරයි. දුප්පතුන්ට පීඩාකරන්නා ඔවුන්ගේ මැවුම්කරුවාණන්ට අවඥා කරයි; එහෙත් නැති බැරි අයට කාරුණික වන කවුරු නමුත්, උන්වහන්සේට ගෞරව කරයි. දුෂ්ටයා තම නපුරු ක්‍රියාව කරණකොටගෙන වැටී යයි; එහෙත් මරණයේදී පවා ධර්මිෂ්ඨයාට පිළිසරණක් ඇත. බුද්ධිමතුන්ගේ හදෙහි ප්‍රඥාව ලැගුම් ගනී; අඥානයින් අතරේ පවා එය ප්‍රකාශ වෙයි. ධර්මිෂ්ඨත්වය ජාතියක් උසස් කරයි; එහෙත් පාපය කවර ජනතාවකට වුව නින්දාවකි. ප්‍රඥාවත් සේවකයකු ගැන රජු ප්‍රමෝදවත් වෙයි; එහෙත් නින්දා සහගත සේවකයා පිට රජුගේ උදහස පතිත වේ.





