හිතෝපදේශ 1:8-19
හිතෝපදේශ 1:8-19 SCV
සවන් දෙන්න මා පුත, ඔබේ පියාගේ අවවාදය වෙත; ඔබේ මවගේ උපදෙස් අත්හැර නො දමන්න. ඒවා ඔබේ හිසට ආකර්ෂවත් මල් දමක් ද ඔබේ ගෙල සරසන මාලයක් ද වේ. මා පුත, පව්කරුවෝ ඔබ පොලඹවන කල, ඔවුනට අවනත නො වන්න. “එන්න, අප සමඟ එන්න. අපි ලේ හැලුමට මග රැක සිටිමු; අපි රැක සිට අහිංසකයින් අහේතුක ව අල්ලා ගනිමු. ෂෙයෝල සේ අපි ඔවුන් පණ පිටින් ගිල දමමු; වළ පල්ලට යන්නවුන් පරිදි, මුළුමනින් ඔවුන් ගිල දමමු. හැම අයුරක අගනා භාණ්ඩ අපට ලැබෙනු ඇත; කොල්ල කෑ දෙයින් අපේ ගෙවල් පුරවාගත හැක. අප හා සමාගම්කාර වෙයන්න. අප හැමට පොදු පසුම්බියක් තබා ගනිමු” යි ඔවුන් පැවසිය හැක. මා පුත, ඔවුන් යන මාර්ගයේ නො යන්න; ඔවුන්ගේ මාවතින් ඔබේ පා වළක්වාගන්න. මන්ද ඔවුන්ගේ පාද දුෂ්ටකමට යුහුසුලු ය; ලේ හැලුමට කඩිනම් ය. තවද යම් පක්ෂියකුට පෙනෙන ලෙස දැලක් එලීම කෙතරම් නිෂ්ඵල ද! එහෙත් මේ මිනිසුන් රැක සිටින්නේ, තමන්ගේ ම ලේ හැලුමට ය; ඔවුන් රහසේ රැක සිටින්නේ තමන්ගේ ම ජීවිතවලට ය. අයුතු වාසියට ගිජුවන සියල්ලන්ගේ මාර්ග එසේ වේ. අයුතු වාසි ලබන්නන්ගේ ජීවිත අයුතු වාසියෙන් ම නැසේ.





