ගණන් 9:1-14
ගණන් 9:1-14 SCV
ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට පැමිණි පසු, දෙවන වසරේ පළමු මස සීනයි කාන්තාරයේදී ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, ඔහුට මෙසේ පැවසූ සේක. “නියමිත දවස්හි දී ඉශ්‍රායෙල් ජනයාට පාස්කුව පවත්වන්නට සලස්වන්න. ඊට නියමිත කාලය වන මෙම මස දාහතර වන දින හැන්දෑවේ අදාළ නියෝග හා නියමයන් සියල්ලට අනුකූලව එය පවත්වන්න.” එවිට මෝසෙස්, පාස්කුව පවත්වන්නැයි ඉශ්‍රායෙල් ජනතාවට පැවසී ය. පළමු මස දාහතර වන දින හැන්දෑවේ සීනයි කාන්තාරයේදී ඔවුහු එසේ කළහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙන් ඉශ්‍රායෙල් ජනයා හැම දේ ම කළහ. එහෙත් මළ මිනියක් හේතු කොට අපවිත්‍ර ව සිටි ඇතැම් දෙනකුට ඒ දවසේ පාස්කුව පැවැත්වීමට නො හැකි විය. එබැවින් ඒ දවසේ ම මෝසෙස් හා ආරොන් වෙත පැමිණි ඔවුහු, මෝසෙස් අමතමින්, “මළ මිනියක් හේතු කොට අප අපවිත්‍ර වූවා. නියමිත කාලයේදී සෙසු ඉශ්‍රායෙල්වරුන් සමඟ ස්වාමින්වහන්සේගේ පූජාව පිළිගැන්වීමෙන් අප වළකනු ලබන්නේ මන්ද?” යි ඇසූහ. මෝසෙස් ඔවුනට පිළිතුරු දෙමින්, “ඔබ සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේ කුමක් අණ කරන සේක් දැයි මා අසා දැනගන්නා තෙක් ඉන්නැ” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුනට මෙසේ කියන්න: ඔබ අතරින් යමෙක් හෝ ඔබෙන් පැවතෙන්නෙක් හෝ මළ මිනියක් හේතු කොට අපවිත්‍ර ව සිටියා වුව ද, බැහැරක ගමනේ යෙදී සිටියා වුව ද, ඔවුන් ද ස්වාමින්වහන්සේගේ පාස්කුව පවත්වත්වා. දෙවන මස දාහතර වන දින හැන්දෑවේ ඔවුන් එය පැවැත් විය යුතු ය. ඔවුන් මුහුන් රහිත රොටි හා තිත්ත පලා සමඟ බැටළු පැටවා අනුභව කළ යුතු ය. ඔවුන් උගෙන් කිසිවක් උදය වන තුරු ඉතිරි නො කළ යුතු ය. උගේ ඇටයකුදු නො බිඳිය යුතු ය. පාස්කුවේ සියලු ව්‍යවස්ථාවලට අනුකූලව ඔවුන් එය පැවැත් විය යුතු ය. එහෙත් පවිත්‍ර ව සිටින කෙනෙක් ගමනක ද නො යෙදී සිටියදී, පාස්කුව පැවැත්වීම පැහැර හරියි නම්, ඒ පුද්ගලයා ඔහුගේ ජනතාව අතරින් සිඳ දැමිය යුතු ය. මන්ද ඔහු ස්වාමින්වහන්සේගේ පූජාව නියමිත දවස්හි දී නො පිළිගැන් වූ බැවිනි. ඔහු තම පාපයේ විපාකය දරනු ඇත. “ ‘ඔබ අතරේ වෙසෙන විදෙස්සකු ස්වාමින්වහන්සේගේ පාස්කුව පැවැත්වීමට කැමති වෙතොත්, ඔහු එසේ කළ යුත්තේ, සියලු නීති හා ව්‍යවස්ථාවනට අනුකූලව ය. විදෙස්සනටත්, පුරවැසියනටත් ඔබට තිබිය යුත්තේ එක ම ව්‍යවස්ථාවකැ’ යි” පැවසූ සේක.


