YouVersion Logo
Search Icon

ගණන් 33:1-56

ගණන් 33:1-56 SCV

මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය යටතේ, සේනාංක වශයෙන් ඊජිප්තුවෙන් පිටත් ව ආ ඉශ්‍රායෙල් ජනයාගේ ගමන් මාර්ග අදියර මෙසේ ය. අදියරෙන්, අදියර ගමනේ විස්තර ස්වාමින්වහන්සේගේ අණින් මෝසෙස් සටහන් කළේ ය. ඔවුන්ගේ ගමන අදියරෙන්, අදියර මෙසේ ය. ඉශ්‍රායෙල්වරු පාස්කුවට පසු දින, එනම් පළමු මස පහළොස් වන දින, රාමසෙස් වෙතින් පිටත් වූහ. මුළු ඊජිප්තු ජනතාවගේ ඇස් හමුවේ ඔවුන් නිර්භය ව ගමන් ගත්තේ, ඊජිප්තුවරුන් ස්වාමින්වහන්සේ විසින් පහර දෙනු ලැබ, තමන් අතර වූ තමන්ගේ සියලු කුලුඳුලන් භූමදාන කරමින් සිටියදී ය. මන්ද ඊජිප්තුවරුන්ගේ දෙවි දේවතාවුන්ට ස්වාමින්වහන්සේ දඬුවම් පැමිණ වූ බැවිනි. ඉශ්‍රායෙල්වරු රාමසෙස් වෙතින් පිටත් ව සුක්කොත්හි කඳවුරු ලා ගත්හ. සුක්කොත් වෙතින් පිටත් වූ ඔවුහු කාන්තාර-මායිමේ ඒතාම්හි කඳවුරු ගැසූහ. ඒතාම් වෙතින් පිටත් වූ ඔවුහු, නැගෙනහිර බාල්-සෙෆොන් වෙතට මුහුණ ලා පී-හහිරොත් වෙත ආපසු හැරී ගොස්, මිග්දෝල් අසල කඳවුරු ගැසූහ. පී-හහිරොත් වෙතින් පිටත් වී, මුහුද මැදින් ගමන් කොට, කාන්තාරයට පිවිසි ඔවුහු ඒතාම් කතරේ තුන් දවසක් ගමන් කොට, මාරාහි කඳවුරු ගැසූහ. මාරා වෙතින් නික්මුණු ඔවුහු, ඒලිම් වෙත පැමිණියහ. එහි දිය උල්පත් දොළසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද විණි. ඔවුහු එහි කඳවුරු ගැසූහ. ඒලිම් වෙතින් නික්මුණු ඔවුහු රතු මුහුද අද්දර කඳවුරු ගැසූහ. රතු මුහුද වෙතින් නික්මුණු ඔවුහු සීන් කාන්තාරයේ කඳවුරු ගැසූහ. සීන් කාන්තාරය වෙතින් නික්මුණු ඔවුහු දොෆ්කාහි කඳවුරු ගැසූහ. දොෆ්කා වෙතින් නික්මුණු ඔවුහු ආලූෂ්හි කඳවුරු ගැසූහ. ආලූෂ් වෙතින් නික්මුණු ඔවුහු ජනතාවට බීමට ජලය නො වූ රෙෆීදිම්හි කඳවුරු ගැසූහ. රෙෆීදිම් වෙතින් නික්මුණු ඔවුහු සීනයි කාන්තාරයේ කඳවුරු ගැසූහ. සීනයි කාන්තාරය වෙතින් නික්මුණු ඔවුහු කිබ්‍රොත්-හත්තාවාහි කඳවුරු ගැසූහ. කිබ්‍රොත්-හත්තාවා වෙතින් නික්මුණු ඔවුහු හසේරොත්හි කඳවුරු ගැසූහ. හසේරොත් වෙතින් නික්මුණු ඔවුහු රිත්මාහි කඳවුරු ගැසූහ. රිත්මා වෙතින් නික්මුණු ඔවුහු රිම්මොන්-පෙරෙස්හි කඳවුරු ගැසූහ. රිම්මොන්-පෙරෙස් වෙතින් නික්මුණු ඔවුහු ලිබ්නාහි කඳවුරු ගැසූහ. ලිබ්නා වෙතින් නික්මුණු ඔවුහු රිස්සාහි කඳවුරු ගැසූහ. රිස්සා වෙතින් නික්මුණු ඔවුහු කෙහේලාතාහි කඳවුරු ගැසූහ. කෙහේලාතා වෙතින් නික්මුණු ඔවුහු ෂෙෆෙර් කන්දෙහි කඳවුරු ගැසූහ. ෂෙෆෙර් කන්දෙන් නික්මුණු ඔවුහු හරාදාහි කඳවුරු ගැසූහ. හරාදා වෙතින් නික්මුණු ඔවුහු මක්හෙලොත් හි කඳවුරු ගැසූහ. මක්හෙලොත් වෙතින් නික්මුණු ඔවුහු තහත්හි කඳවුරු ගැසූහ. තහත් වෙතින් නික්මුණු ඔවුහු තේරාහි කඳවුරු ගැසූහ. තේරා වෙතින් නික්මුණු ඔවුහු මිත්කාහි කඳවුරු ගැසූහ. මිත්කා වෙතින් නික්මුණු ඔවුහු හෂ්මොනාහි කඳවුරු ගැසූහ. හෂ්මොනා වෙතින් නික්මුණු ඔවුහු මොසේරොත් හි කඳවුරු ගැසූහ. මොසේරොත් වෙතින් නික්මුණු ඔවුහු බෙනෙ-යාකාන්හි කඳවුරු ගැසූහ. බෙනෙ-යාකාන් වෙතින් නික්මුණු ඔවුහු හොර්-හග්ගිද්ගාද්හි කඳවුරු ගැසූහ. හොර්-හග්ගිද්ගාද් වෙතින් නික්මුණු ඔවුහු යොට්බාතාහි කඳවුරු ගැසූහ. යොට්බාතා වෙතින් නික්මුණු ඔවුහු අබ්රොනා හි කඳවුරු ගැසූහ. අබ්රොනා වෙතින් නික්මුණු ඔවුහු එසියොන්-ගෙබෙර්හි කඳවුරු ගැසූහ. එසියොන්-ගෙබෙර් වෙතින් නික්මුණු ඔවුහු සීන් කාන්තාරයේ කාදෙෂ්හි කඳවුරු ගැසූහ. කාදෙෂ් වෙතින් නික්මුණු ඔවුහු ඒදොම් දේශ සීමාවෙහි වූ හෝර් කන්දෙහි කඳවුරු ගැසූහ. ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත් ව ආ පසු හතළිස් වන වසරේ පස් වන මස පළමු වන දා පූජක ආරොන්, ස්වාමින්වහන්සේගේ අණින් හෝර් කන්දට නැගී, එහිදී මියැදිණි. හෝර් කන්දේදී මියැදෙන විට ආරොන් එකසිය විසිතුන් වියැති ව සිටියේ ය. කානාන් දේශයේ නෙගෙබ්හි විසූ කානානීය අරාද්හි රජුට ඉශ්‍රායෙල්වරුන්ගේ පැමිණීම ගැන සැල විණි. ඔවුහු හෝර් කන්දෙන් නික්ම සල්මොනාහි කඳවුරු ගැසූහ. සල්මොනා වෙතින් නික්මුණු ඔවුහු පූනොන්හි කඳවුරු ගැසූහ. පූනොන් වෙතින් නික්මුණු ඔවුහු ඔබොත්හි කඳවුරු ගැසූහ. ඔබොත් වෙතින් නික්මුණු ඔවුහු මෝවබ් දේශ සීමාවෙහි වූ ඉයේ-අබාරීම්හි කඳවුරු ගැසූහ. ඉයේ-අබාරීම් වෙතින් නික්මුණු ඔවුහු දීබොන්-ගාද් හි කඳවුරු ගැසූහ. දීබොන්-ගාද් වෙතින් නික්මුණු ඔවුහු අල්මොන්-දිබ්ලාතයිම්හි කඳවුරු ගැසූහ. අල්මොන්-දිබ්ලාතයිම් වෙතින් නික්මුණු ඔවුහු නෙබෝ අසල අබාරීම් කඳු පෙළෙහි කඳවුරු ගැසූහ. අබාරීම් කඳු වෙතින් පිටත් වූ ඔවුහු යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නෙහි කඳවුරු බැඳ ගත්හ. ඔවුහු මෝවබ් තැන්නේ බෙත්-යෙෂීමොත්හි සිට ආබෙල්-ෂිට්ටීම් දක්වා ම යොර්දාන් ගඟ ඔස්සේ කඳවුරු ගැසූහ. යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නේදී, ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුනට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබ යොර්දාන් ගඟ තරණය කර, කානාන් දේශයට පිවිසි කල, දේශ වාසී සියල්ලන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්න. ඔවුන්ගේ නෙළූ පිළිම හා වාත්තු රූප සියල්ල විනාශ කර, උස් තැන්හි ඇති ඔවුන්ගේ පුදසුන් සියල්ල බිඳ හෙළන්න. දේශය මා ඔබට අත්කර දී ඇති බැවින්, එය අත්පත් කර ගෙන, එහි පදිංචි වන්න. පස ඇට දැමීමෙන් ඔබේ පෙළපත්වලට අනුව දේශය බෙදා දෙන්න. විශාල පිරිසකට විශාල උරුමයක් ද කුඩා පිරිසකට කුඩා උරුමයක් ද දෙන්න. පස ඇට දැමීමෙන් ලැබෙන කොටස ඔවුන්ට හිමි වේ. ඔබේ පාරම්පරික ගෝත්‍රවලට අනුව එය බෙදා දෙන්න. “ ‘එහෙත් ඔබ, ඒ දේශ වාසීන් පලවා නෑරියහොත්, එහි නැවතී සිටින්නට ඔබ ඉඩ දුන් අය ඔබේ ඇස්වලට කටු ද ඔබේ ඇලයට උල් ද වනු ඇත. ඔබ වෙසෙන දේශයේ ඔවුන් ඔබට කරදරයක් වනු ඇත. එවිට මම, ඔවුන්ට කරන්නට සැලසුම් කළ දෑ ඔබට කරන්නෙමි’ ” යි පැවසූ සේක.

Video for ගණන් 33:1-56