YouVersion Logo
Search Icon

ගණන් 20:1-12

ගණන් 20:1-12 SCV

මුළු ඉශ්‍රායෙල් ප්‍රජාව, පළමු මාසයේ සීන් කාන්තාරය වෙත ළඟා වී, කාදෙෂ්හි නැවතුණහ. එහිදී මිරියාම් මිය ගියෙන්, එහිදී ම ඇය භූමදාන කරන ලදී. එහිදී ජනයාට වතුර නො වූ බැවින්, ඔවුහු මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව එක් රොක් වූහ. මෝසෙස් හා දබර කළ ඔවුහු, “ස්වාමින්වහන්සේ ඉදිරියේ අපේ සහෝදරයින් මැරී වැටුණු කල, අනේ අපත් මැරී ගියා නම්! අපත්, අපේ සතුනුත් මැරී යන්නට නුඹලා ස්වාමින්වහන්සේගේ ජන සමූහයා මේ පාළුකරයට ගෙන ආවේ කුමට ද? ඊජිප්තුවෙන් පිටතට මේ භයංකර ස්ථානයට අප ගෙන ආවේ කුමට ද? කෝ! මෙහි ධාන්‍ය නැත; අත්තික්කා නැත; මිදි වැල් නැත; දෙළුම් නැත. ඒ මදිවාට බොන්නට වතුරත් නැතැ” යි කීහ. එවිට මෝසෙස් හා ආරොන්, එසේ රැස්වූවන් වෙතින් හමුවීමේ කූඩාරම් දොරකඩ වෙත ගොස්, මුණින් තලා වැටුණහ. එවිට ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඔවුනට පෙනෙන්නට විය. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සැරයටිය ගෙන, ඔබත්, ඔබේ සහෝදර ආරොනුත් ජනතාව එක් රැස් කරවන්න. ඔවුන්ගේ ඇස් ඉදිරිපිට පර්වතයට කතා කරන්න. එවිට එය එහි වතුර ගලා යවනු ඇත. ජන සමූහයාට පර්වතයෙන් ඔබ වතුර ගෙන දෙනු ඇත. එවිට ඔවුන්ට ද ඔවුන්ගේ සතුනට ද බීමට හැකි වේ යැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් තමාට ස්වාමින්වහන්සේ අණ කළ ලෙස, උන්වහන්සේ අබියසින් සැරයටිය ගත්තේ ය. මෝසෙස් හා ආරොන් පර්වතය ඉදිරියේ සමූහයා එක් රැස් කරවූහ. ඉන්පසු ඔවුන් ඇමතූ මෝසෙස්, “කැරලිකරුවනි, මේ අහපල්ලා. මේ පර්වතයෙන් අප නුඹලාට වතුර ගෙන දෙන්න ඕනෑ දැ?” යි ඇසී ය. ඉන්පසු තම අත එසවූ මෝසෙස්, තම සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසී ය. වතුර ඉන් ගලා හැලෙන්නට වන්නේ ය. ජන සමූහයත්, ඔවුන්ගේ සතුනුත් එයින් බීවෝ ය. එහෙත් මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ඉශ්‍රායෙල්වරුන් හමුවෙහි මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන සේ ඔබ මා කෙරෙහි විශ්වාසය නො තැබූ බැවින්, මේ ප්‍රජාවට මා දෙන දේශයට ඔබ ඔවුන් ගෙන යන්නේ නැතැ” යි පැවසූ සේක.

Video for ගණන් 20:1-12

Free Reading Plans and Devotionals related to ගණන් 20:1-12