YouVersion Logo
Search Icon

ගණන් 14

14
කැරලි ගැසීම
1ඒ රැයේ මුළු ප්‍රජාව මහ හඬ නගා, හඬා වැලපෙන්නට වන්හ. 2සියලු ඉශ්‍රායෙල්වරු මෝසෙස්ටත්, ආරොන්ටත් එරෙහිව මැසිවිලි නැගූහ; මුළු ප්‍රජාව ම ඔවුන් අමතමින්, “අනේ අපට ඊජිප්තුවේදී මැරෙන්නට ලැබුණා නම්! නැත්නම් මේ පාළුකරයේ මැරෙන්නට ලැබුණා නම්! 3කඩු පහරින් අප වැටී යන්නට ස්වාමින්වහන්සේ මේ දේශයට අප ගෙන ආවේ මන්ද? අපේ අඹු-දරුවන් කොල්ලයට හසු වේවි. ඊජිප්තුවට ආපසු හැරී යෑම අපට වඩා හොඳ නො වේ දැ?” යි කීහ. 4ඉන්පසු එකිනෙකා ඇමතූ ඔවුහු, “නායකයකු තෝරා ගෙන ඊජිප්තුවට ආපසු හැරී යමු” යි කීහ.
5එවිට මෝසෙස් හා ආරොන් එහි එක් රැස් වූ මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ මුහුණ බිම නමා, වැටුණහ. 6දේශයේ ඔත්තු බැලීමට ගියවුන් අතරේ වූ නූන්ගේ පුත් යෝෂුවා හා යෙෆුන්නෙගේ පුත් කාලෙබ් යන දෙදෙන තම ඇඳුම් ඉරාගෙන, 7ඉශ්‍රායෙල් මුළු ජන සමූහයා අමතමින්, “ඔත්තු බලමින්, පරීක්ෂා කරන්නට අප ගිය රට ඉතාම කදිමයි. 8ස්වාමින්වහන්සේ අප හා ප්‍රසන්න නම්, කිරි හා පැණි ගලා යන දේශයක් වන ඒ දේශයට උන්වහන්සේ අපට මගපෙන්වා, එය අපට දෙන සේක. 9ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගසන්න එපා. ඒ දේශයේ ජනයාට බිය වෙන්නත් එපා. මන්ද ඔවුන් අපට ගොදුරක් වේවි. ඔවුන්ගේ ආරක්ෂාව පහව ගොස්. මන්ද ස්වාමින්වහන්සේ අප සමඟයි; ඔවුන්ට බය වන්න එපා” යි කීහ.
10එහෙත්, මුළු ජන සමූහයා ඔවුනට ගල් ගසන්නට කතා වූහ. එවිට ස්වාමින්වහන්සේගේ තේජස, හමුවීමේ කූඩාරමේ සියලු ඉශ්‍රායෙල්වරුනට පෙනිණි. 11ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “තව කොතෙක් කල් මේ ජනතාව මා හෙළා දකිත් ද? මේ සා හාස්කම් ලකුණු ඔවුන් මධ්‍යයේ මා සිදුකර තිබියදීත්, තව කොතෙක් කල් ඔවුහු මා කෙරේ විශ්වාසය තැබීම ප්‍රතික්ෂේප කරත් ද? 12මම ව්‍යසනයකින් පහර දී, ඔවුන් විනාශ කර දමන්නෙමි. ඔවුනට වඩා ශ්‍රේෂ්ඨ වූත්, බලසම්පන්න වූත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි” යි පැවසූ සේක.
13එහෙත් මෝසෙස්, ස්වාමින්වහන්සේ අමතමින්, “එවිට ඊජිප්තුවරුන්ට ඒ ගැන අසන්නට ලැබේවි! ඔබවහන්සේ ඔවුන් වෙතින් මේ ජනයා ගෙනාවේ ඔබේ ම බලයෙන්. 14මේ දේශයේ වෙසෙන්නවුනටත් ඔවුන් ඒ බව කියාවි. අහෝ ස්වාමින්වහන්ස, මේ ජනයා සමඟ ඔබවහන්සේ සිටින වග ඔවුන් දැනටමත් අසා තිබෙනවා නො වේ ද? ඔබවහන්සේ මුහුණට මුහුණ දක්නට ලැබෙන වගත්, ඔබවහන්සේගේ වලාකුළ ඔවුන්ට ඉහළින් පවතින වගත්, දහවලේ වලා ටැඹකින් ද රැයේ ගිනි ටැඹකින් ද ඔබවහන්සේ ඔවුන්ට පෙරටුව යන වගත් ඔවුන් අසා තිබෙනවා නො වේ ද? 15අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මේ මුළු ජනතාව එක් පහරින් මරණයට පත් කළහොත්, ඔබවහන්සේ ගැන මේ පුවත අසා ඇති ජාතීන් කියනු ඇත්තේ, 16‘මේ ජනතාවට ස්වාමින්වහන්සේ දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඒමට අපොහොසත් වූ නිසා, උන්වහන්සේ පාළුකරයේදී ඔවුන් මරා දැමූ සේක’ කියායි.
17“ඔබවහන්සේ ප්‍රකාශ කර ඇති පරිදි දැන් ස්වාමින්වහන්සේගේ බලපරාක්‍රමය විදහා දැක්වුව මැනවි. 18එනම්, ‘ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; දුෂ්ටකමට හා අපරාධයට කමාව දෙන සේක. එහෙත් වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක්, පියවරුන්ගේ පාපයට දරුවන්ට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක’ යනුයි. 19එබැවින් ඔවුන් ඊජිප්තුවෙන් පිටත් වූ දා සිට අද දක්වා වරින් වර ඔබ ඔවුනට කමාව දුන් අයුරින්, ඔබගේ නොමියෙන ප්‍රේමයෙහි ශ්‍රේෂ්ඨත්වයට අනුකූලව මේ ජනතාවගේ පාපය කමා කළ මැනව” යි අයැදී ය.
20 ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලූ පරිදි, මම ඔවුනට කමා වුණෙමි. 21එසේ ද වුව, මා ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මුළු මිහිතලය පිරෙන වග සැබෑ සේ ම, 22ඊජිප්තුවේ හා පාළුකරයේ මගේ තේජෝ මහිමයත් මා පෑ හාස්කම් ලකුණුත් දුටු නමුදු දහ වරක් ම මා පරීක්ෂා කරමින්, මට අකීකරු වූ එක් කෙනකුවත් 23ඔවුන්ගේ පියවරුන්ට මා දිවුරා පොරොන්දු වූ දේශය කිසි දින දකින්නේ නැත. මා සුළු කොට තැකූ කිසි කෙනකුට, කිසි දිනෙක එය දක්නට ලැබෙන්නේ නැත. 24එහෙත් මගේ සේවක කාලෙබ් වෙනස් ආකල්පයක් දරමින්, මුළු හදින් ම මා අනුගමන කළ නිසා, ඔහු පා තැබූ දේශයට මම ඔහු ගෙන එන්නෙමි. ඔහුගෙන් පැවතෙන්නන් එය උරුම කර ගනු ඇත. 25අමලෙක්වරුන් හා කානානිවරුන් මිටියාවත් පෙදෙස්හි වෙසෙන බැවින් හෙට ආපසු හැරී රතු මුහුදට යන මාවත ඔස්සේ කාන්තාරය දෙසට පිටත් ව යන්නැ” යි පැවසූ සේක.
26 ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින්, 27“මේ දුෂ්ට සමාජය තව කොතෙක් කලක් මට එරෙහිව මැසිවිලි නගත් ද? මේ මැසිවිලිකාර ඉශ්‍රායෙල්වරුන්ගේ චෝදනා මට ඇසී තිබේ. 28එබැවින් ඔවුනට මෙසේ කියන්න: ‘මා ජීවත් වන වග සැබෑ සේ ම, ඔබ පවසනු මට ඇසුණු දේ ම මම ඔබට කරන්නෙමි. 29සංගණනයේදී ගණන් ගන්නා ලද විසි හැවිරිදි හා ඊට වැඩි වයස් වූ, මට එරෙහිව මැසිවිලි නැගූ ඔබ හැම කෙනකුගේ ම මළ-සිරුරු මේ පාළුකරයේ වැටී යනු ඇත. 30ඔබ වාසය කරවීමට, අත ඔසවා මා දිවුළ දේශයට යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ද නූන්ගේ පුත් යෝෂුවා ද හැර ඔබෙන් අන් කිසි කෙනකු ඇතුළු වන්නේ නැත. 31කොල්ලයක් කොට ගෙන යනු ඇතැයි ඔබ කී ඔබේ දරුවන් මම එහි ගෙන යන්නෙමි. ඔබ ප්‍රතික්ෂේප කළ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත. 32එහෙත් ඔබ ගැන මා කියන්නේ ඔබගේ මළ-සිරුරු මේ පාළුකරයේ වැටී යන වගයි. 33ඔබේ අන්තිමයාගේ මළ සිරුරත් පාළුකරයට යටවී යන තෙක්, ඔබේ දරුවෝ ඔබේ අවිශ්වාසවන්තකම උදෙසා දුක් පීඩා විඳිමින්, හතළිස් වසරක් ම මේ පාළුකරයේ එඬේරුන් ලෙස ඔබ මොබ ගෙන යනු ලබන්නෝ ය. 34ඔබේ දේශය පිරික්සීමට ගිය හතළිස් දවසේ එක් දවසකට එක් අවුරුද්ද බැගින් හතළිස් අවුරුද්දක් ම ඔබේ පාප උදෙසා ඔබ දුක් පීඩා විඳිනු ඇත. මා විරුද්ධ කර ගැනීම කෙබඳු වේ දැයි මෙසේ ඔබ දැනගනු ඇත.’ 35ස්වාමින්වහන්සේ වන මම මේ දෑ පැවසුවෙමි. මට එරෙහිව එකට බැඳුණු මේ දුෂ්ට සමාජයට මම එසේ කරන්නෙමි. මේ පාළුකරයේ ඔවුන්ට තම අවසානය මුණ ගැසෙනු ඇත. මෙහිදී ඔවුන් මියෙනු ඇතැ” යි පැවසූ සේක.
36එබැවින් දේශය පිරික්සීමට මෝසෙස් විසින් යවන ලදුව, ආපසු අවුත්, මුළු සමාජය ම මෝසෙස්ට එරෙහිව මැසිවිලි නගන්නට සලස්වමින්, ඒ පිළිබඳ නරක ආරංචි පැතුරූ මිනිස්සු, 37හෙවත්, ඒ දේශය පිළිබඳ නරක ආරංචි පතළ කිරීම ගැන වගකිව යුතු මිනිස්සු, ස්වාමින්වහන්සේ අබියස ව්‍යසනයකින් පහර වැද, මළෝ ය. 38දේශය පිරික්සීමට ගියවුන් අතරින් ජීවත් ව ඉතිරි වූයේ නූන්ගේ පුත් යෝෂුවා හා යෙෆුන්නෙගේ පුත් කාලෙබ් පමණි.
39මෝසෙස් මේ පුවත මුළු ඉශ්‍රායෙල් ජනතාවට සැල කළ විට, ඔවුහු මහත් ශෝකයෙන් වැලපුණහ. 40පසු දින අලුයම් උදෙන් උස් කඳුරට දෙසට නැගී ගිය ඔවුහු, “මෙන්න! අපි ස්වාමින්වහන්සේ පොරොන්දු වූ ස්ථානයට නැග යනවා. මන්ද අපි පව් කළෙමු” යි කීහ.
41එහෙත් මෝසෙස් කතා කොට, “ස්වාමින්වහන්සේගේ අණට ඔබ අකීකරු වන්නේ මන්ද? ඔය වැඩේ සඵල වන්නේ නැත. 42ස්වාමින්වහන්සේ ඔබ සමඟ නො වන බැවින්, එහි යන්න එපා. ඔබේ සතුරන් ඉදිරියේ ඔබ පරදිනු ඇත. 43අමලෙක්වරුන් හා කානානිවරුන් එහිදී ඔබට මුහුණ දෙනු ඇත. ස්වාමින්වහන්සේට ඔබ පිටු පෑ නිසා, ස්වාමින්වහන්සේ ඔබ සමඟ නො සිටින බැවින් කඩු මුවහතින් ඔබ පහර කා වැටෙනු ඇතැ” යි කීවේ ය.
44එහෙත් ඔවුහු තම හිතුවක්කාර තීරණයේ එල්බ, උස් කඳුරට වෙත නැග ගියහ. ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව හෝ මෝසෙස් හෝ කඳවුරෙන් පිටතට ගියේ නැත. 45ඒ කඳු රටෙහි විසූ අමලෙක්වරු හා කානානිවරු පහත බැස අවුත්, ඔවුනට පහර දී හොර්මා දක්වා මුළු මග දිගට ම ඔවුන් පරාජය කළහ.

Currently Selected:

ගණන් 14: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in