ගණන් 14:26-45
ගණන් 14:26-45 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින්, “මේ දුෂ්ට සමාජය තව කොතෙක් කලක් මට එරෙහිව මැසිවිලි නගත් ද? මේ මැසිවිලිකාර ඉශ්‍රායෙල්වරුන්ගේ චෝදනා මට ඇසී තිබේ. එබැවින් ඔවුනට මෙසේ කියන්න: ‘මා ජීවත් වන වග සැබෑ සේ ම, ඔබ පවසනු මට ඇසුණු දේ ම මම ඔබට කරන්නෙමි. සංගණනයේදී ගණන් ගන්නා ලද විසි හැවිරිදි හා ඊට වැඩි වයස් වූ, මට එරෙහිව මැසිවිලි නැගූ ඔබ හැම කෙනකුගේ ම මළ-සිරුරු මේ පාළුකරයේ වැටී යනු ඇත. ඔබ වාසය කරවීමට, අත ඔසවා මා දිවුළ දේශයට යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ද නූන්ගේ පුත් යෝෂුවා ද හැර ඔබෙන් අන් කිසි කෙනකු ඇතුළු වන්නේ නැත. කොල්ලයක් කොට ගෙන යනු ඇතැයි ඔබ කී ඔබේ දරුවන් මම එහි ගෙන යන්නෙමි. ඔබ ප්‍රතික්ෂේප කළ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත. එහෙත් ඔබ ගැන මා කියන්නේ ඔබගේ මළ-සිරුරු මේ පාළුකරයේ වැටී යන වගයි. ඔබේ අන්තිමයාගේ මළ සිරුරත් පාළුකරයට යටවී යන තෙක්, ඔබේ දරුවෝ ඔබේ අවිශ්වාසවන්තකම උදෙසා දුක් පීඩා විඳිමින්, හතළිස් වසරක් ම මේ පාළුකරයේ එඬේරුන් ලෙස ඔබ මොබ ගෙන යනු ලබන්නෝ ය. ඔබේ දේශය පිරික්සීමට ගිය හතළිස් දවසේ එක් දවසකට එක් අවුරුද්ද බැගින් හතළිස් අවුරුද්දක් ම ඔබේ පාප උදෙසා ඔබ දුක් පීඩා විඳිනු ඇත. මා විරුද්ධ කර ගැනීම කෙබඳු වේ දැයි මෙසේ ඔබ දැනගනු ඇත.’ ස්වාමින්වහන්සේ වන මම මේ දෑ පැවසුවෙමි. මට එරෙහිව එකට බැඳුණු මේ දුෂ්ට සමාජයට මම එසේ කරන්නෙමි. මේ පාළුකරයේ ඔවුන්ට තම අවසානය මුණ ගැසෙනු ඇත. මෙහිදී ඔවුන් මියෙනු ඇතැ” යි පැවසූ සේක. එබැවින් දේශය පිරික්සීමට මෝසෙස් විසින් යවන ලදුව, ආපසු අවුත්, මුළු සමාජය ම මෝසෙස්ට එරෙහිව මැසිවිලි නගන්නට සලස්වමින්, ඒ පිළිබඳ නරක ආරංචි පැතුරූ මිනිස්සු, හෙවත්, ඒ දේශය පිළිබඳ නරක ආරංචි පතළ කිරීම ගැන වගකිව යුතු මිනිස්සු, ස්වාමින්වහන්සේ අබියස ව්‍යසනයකින් පහර වැද, මළෝ ය. දේශය පිරික්සීමට ගියවුන් අතරින් ජීවත් ව ඉතිරි වූයේ නූන්ගේ පුත් යෝෂුවා හා යෙෆුන්නෙගේ පුත් කාලෙබ් පමණි. මෝසෙස් මේ පුවත මුළු ඉශ්‍රායෙල් ජනතාවට සැල කළ විට, ඔවුහු මහත් ශෝකයෙන් වැලපුණහ. පසු දින අලුයම් උදෙන් උස් කඳුරට දෙසට නැගී ගිය ඔවුහු, “මෙන්න! අපි ස්වාමින්වහන්සේ පොරොන්දු වූ ස්ථානයට නැග යනවා. මන්ද අපි පව් කළෙමු” යි කීහ. එහෙත් මෝසෙස් කතා කොට, “ස්වාමින්වහන්සේගේ අණට ඔබ අකීකරු වන්නේ මන්ද? ඔය වැඩේ සඵල වන්නේ නැත. ස්වාමින්වහන්සේ ඔබ සමඟ නො වන බැවින්, එහි යන්න එපා. ඔබේ සතුරන් ඉදිරියේ ඔබ පරදිනු ඇත. අමලෙක්වරුන් හා කානානිවරුන් එහිදී ඔබට මුහුණ දෙනු ඇත. ස්වාමින්වහන්සේට ඔබ පිටු පෑ නිසා, ස්වාමින්වහන්සේ ඔබ සමඟ නො සිටින බැවින් කඩු මුවහතින් ඔබ පහර කා වැටෙනු ඇතැ” යි කීවේ ය. එහෙත් ඔවුහු තම හිතුවක්කාර තීරණයේ එල්බ, උස් කඳුරට වෙත නැග ගියහ. ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව හෝ මෝසෙස් හෝ කඳවුරෙන් පිටතට ගියේ නැත. ඒ කඳු රටෙහි විසූ අමලෙක්වරු හා කානානිවරු පහත බැස අවුත්, ඔවුනට පහර දී හොර්මා දක්වා මුළු මග දිගට ම ඔවුන් පරාජය කළහ.



![[Spirit of Leadership] Preparation ගණන් 14:26-45 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F25842%2F1440x810.jpg&w=3840&q=75)

