YouVersion Logo
Search Icon

ගණන් 14:11-25

ගණන් 14:11-25 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “තව කොතෙක් කල් මේ ජනතාව මා හෙළා දකිත් ද? මේ සා හාස්කම් ලකුණු ඔවුන් මධ්‍යයේ මා සිදුකර තිබියදීත්, තව කොතෙක් කල් ඔවුහු මා කෙරේ විශ්වාසය තැබීම ප්‍රතික්ෂේප කරත් ද? මම ව්‍යසනයකින් පහර දී, ඔවුන් විනාශ කර දමන්නෙමි. ඔවුනට වඩා ශ්‍රේෂ්ඨ වූත්, බලසම්පන්න වූත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි” යි පැවසූ සේක. එහෙත් මෝසෙස්, ස්වාමින්වහන්සේ අමතමින්, “එවිට ඊජිප්තුවරුන්ට ඒ ගැන අසන්නට ලැබේවි! ඔබවහන්සේ ඔවුන් වෙතින් මේ ජනයා ගෙනාවේ ඔබේ ම බලයෙන්. මේ දේශයේ වෙසෙන්නවුනටත් ඔවුන් ඒ බව කියාවි. අහෝ ස්වාමින්වහන්ස, මේ ජනයා සමඟ ඔබවහන්සේ සිටින වග ඔවුන් දැනටමත් අසා තිබෙනවා නො වේ ද? ඔබවහන්සේ මුහුණට මුහුණ දක්නට ලැබෙන වගත්, ඔබවහන්සේගේ වලාකුළ ඔවුන්ට ඉහළින් පවතින වගත්, දහවලේ වලා ටැඹකින් ද රැයේ ගිනි ටැඹකින් ද ඔබවහන්සේ ඔවුන්ට පෙරටුව යන වගත් ඔවුන් අසා තිබෙනවා නො වේ ද? අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මේ මුළු ජනතාව එක් පහරින් මරණයට පත් කළහොත්, ඔබවහන්සේ ගැන මේ පුවත අසා ඇති ජාතීන් කියනු ඇත්තේ, ‘මේ ජනතාවට ස්වාමින්වහන්සේ දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඒමට අපොහොසත් වූ නිසා, උන්වහන්සේ පාළුකරයේදී ඔවුන් මරා දැමූ සේක’ කියායි. “ඔබවහන්සේ ප්‍රකාශ කර ඇති පරිදි දැන් ස්වාමින්වහන්සේගේ බලපරාක්‍රමය විදහා දැක්වුව මැනවි. එනම්, ‘ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; දුෂ්ටකමට හා අපරාධයට කමාව දෙන සේක. එහෙත් වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක්, පියවරුන්ගේ පාපයට දරුවන්ට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක’ යනුයි. එබැවින් ඔවුන් ඊජිප්තුවෙන් පිටත් වූ දා සිට අද දක්වා වරින් වර ඔබ ඔවුනට කමාව දුන් අයුරින්, ඔබගේ නොමියෙන ප්‍රේමයෙහි ශ්‍රේෂ්ඨත්වයට අනුකූලව මේ ජනතාවගේ පාපය කමා කළ මැනව” යි අයැදී ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලූ පරිදි, මම ඔවුනට කමා වුණෙමි. එසේ ද වුව, මා ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මුළු මිහිතලය පිරෙන වග සැබෑ සේ ම, ඊජිප්තුවේ හා පාළුකරයේ මගේ තේජෝ මහිමයත් මා පෑ හාස්කම් ලකුණුත් දුටු නමුදු දහ වරක් ම මා පරීක්ෂා කරමින්, මට අකීකරු වූ එක් කෙනකුවත් ඔවුන්ගේ පියවරුන්ට මා දිවුරා පොරොන්දු වූ දේශය කිසි දින දකින්නේ නැත. මා සුළු කොට තැකූ කිසි කෙනකුට, කිසි දිනෙක එය දක්නට ලැබෙන්නේ නැත. එහෙත් මගේ සේවක කාලෙබ් වෙනස් ආකල්පයක් දරමින්, මුළු හදින් ම මා අනුගමන කළ නිසා, ඔහු පා තැබූ දේශයට මම ඔහු ගෙන එන්නෙමි. ඔහුගෙන් පැවතෙන්නන් එය උරුම කර ගනු ඇත. අමලෙක්වරුන් හා කානානිවරුන් මිටියාවත් පෙදෙස්හි වෙසෙන බැවින් හෙට ආපසු හැරී රතු මුහුදට යන මාවත ඔස්සේ කාන්තාරය දෙසට පිටත් ව යන්නැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to ගණන් 14:11-25